රතුපස්වල වැසියන් යළිත් පාරට
දෙසතියක් ඇතුළත රතුපස්වල ගැටළුවලට විසඳුමක් නොලැබුණහොත් වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගොස් නැවතත් උද්ඝෝෂණ ආරම්භ කරන බව ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රතුපස්වල ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා අවධාරණය කරන ලදී.
අද (30) ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගම් ශාලාවේ එම මාධ්‍ය හමුව පැවැත්විණ.
ගම්වාසීන් අරඹන උද්ඝෝෂණයට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන සහයද ලබා දෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් සහ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සහ රාවය මාධ්‍යවේදීන් තරිඳු උඩුවරගෙදර යන මහත්වරුද එහිදී පැවසූහ.
ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එම මාධ්‍ය සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
පහත දැක්වෙන්නේ එම මාධ්‍ය හමුවට එක්වූ නියෝජිතයින් දැක්වූ අදහස්ය.
එහිදී අදහස් දැක්වූ ගම්වාසී සුරේෂ් පෙරේරා මහතා.
‘‘ගම්පහ හිටපු දිස්ත්‍රික් ලේකම් ජේ ජේ රත්නසිරි මහත්මයා, ගම්පහ හිටපු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මොනිකා මානප්පෙරුම, වැලිවේරිය පොලිස් ස්ථානාධිපති එස්.කේ උපාලි, ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ, මහර ආසන සංවිධායක ලසන්ත අලගියවන්න ආදී පිරිස් වතුර ප්‍රශ්නය පටන් ගනිද්දිම අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තා නම් මෙච්චර ප්‍රශ්නය දුර දිග යන්නේ නෑ.
රතුපස්වල උද්ඝෝෂණ මාලාව පටන් ගත්තේ 2013 ජූලි 27. මේ ප්‍රශ්නය ගැන අපි ජූලි 16 වැලිවේරිය පොලිස් ස්ථානාධිපතිට, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට සහ ප්‍රාදේශීය සභාවට ලිඛිතව දැන්වුවා. වැලිවේරිය ස්ථානාධිපතිට තිබුණා මේක ගැන සොයා බලා කම්හලට නඩු දාන්න. නමුත් කළේ නෑ. ගමේ ප්‍රශ්න සොයා බලනවා වෙනුවට ඔහු ගම්වාසීන් ආරවුලට ආවා. රාජකාරි පැහැර හැරි ඒ පොලිස් නිලධාරියාට ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට වත්මන් රජයෙන් ඔහු කතරගම පොලිස් ස්ථානාධිපති ලෙස පත් කළා.
දින කිහිපයක් මිනිස්සු උද්ඝෝෂණ කරද්දී ගම්පහ දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් තිබුණා. ජල ගැටළුව ගැන ආයතන දහයකින් වාර්තා කැඳවන්න එහිදී තීරණය වුණා. අද වෙනකම් ඔහු ඒ වාර්තා එළියට දැම්මේ නෑ. යහපාලන ආණ්ඩුව යටතේ ඔහු අමාත්‍යංශ ලේකම්වරයකු ලෙස පත් කළා. එදා වාර්තා එළියට දැම්මේ නැත්තේ ඇයි කියා අද ඔහු රටට හෙළි කළ යුතුයි.
2013 අගෝස්තු පළමු වැනිදා තමයි වෙඩි තිබ්බේ. එදින උදේ බ්‍රිගේඩියර් දේශප්‍රිය කිව්වා බලන් ඉඳපල්ලා හවස තොපිට වතුර දෙනවා කියලා. ඉන් පස්සේ හවස ඇවිදින් වෙඩි තිබ්බා.
අපි මේ ආණ්ඩුවට අවුරුද්දක් කල් දුන්නා. තවත් සති දෙකක් කල් දෙනවා. තව සති දෙකක් ඇතුළත අපට සාධාරණයක් නොවුණොත් යුද හමුදාවෙන් වෙඩි තියලා මිනිස්සු මැරුණු වැලිවේරිය පොලිසිය ඉදිරිපිටට ගිහින් පැල් බැඳගන්නවා. අපි පාරට බැස්සට පස්සේ සාකච්ඡා කරන්න එන්න එපා. ආයෙත් වෙඩි තියලා මරලා දාලාම තමයි මිනිස්සුන්ව අයින් කරන්න වෙන්නේ.‘‘
එහිදී අදහස් දැක්වූ නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා.
‘‘ජලය කියන්නේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයක්. සෞඛ්‍යමත් ජීවිතයක් ගත කිරීමට සෑම පුද්ගලයකුටම අයිතියක් තිබෙනවා. ඒ සඳහා පිරිසිදු ජලය අවශ්‍යයි. එය ලෝකයම පිළිගෙන තිබෙනවා. රතුපස්වල සහ වැලිවේරිය ජනතාව පාරට බැස්සේ පිරිසිදු පානීය ජලය ඉල්ලලා. එම උද්ඝෝෂණ ආණ්ඩුවෙන් වෙඩි තබා මර්දනය කරන්න උත්සාහ කළා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වැලිවේරිය ප්‍රශ්නය ගැන විමර්ශනයක් සිදු කර මීට වසර එකහමාරකට පෙර වාර්තා දෙකක් නිකුත් කළා. එක් වාර්තාවක් ජල ප්‍රශ්නය ගැනයි. අනිත් වාර්තාව වැලිවේරිය වෙඩි තැබීම ගැනයි.
එම වාර්තාවේ සාධනීය නිර්දේශ තිබෙනවා. වෙඩි තැබූ හමුදා නිලධාරීන්ට අපරාධ නීතිය යටතේ කටයුතු කරන ලෙස සහ අණ දුන් නිලධාරීන්ට යුද හමුදා නීතිය යටතේ කටයුතු කරන ලෙස නිර්දේශ කර තිබෙනවා. නමුත් අද වන තුරු එම නිර්දේශ ක්‍රියාත්මක කර නෑ.‘‘
එහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා.
‘‘ ජනාධිපති වී තුන් මාසයක් ඇතුළත රතුපස්වල ජල ගැටළුවට විසඳුම් ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී 2014 දෙසැම්බර 25 වැනි දා රතුපස්වල තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ පංසලට ගොස් ප්‍රතිඥාවක් දුන්නා. එම ප්‍රතිඥාව දී වසරක් ගත වෙනවා. නමුත් අද වන තුරු පොරොන්දු ඉටු කර නෑ. රතුපස්වල වෙඩි තැබූවන් නිදැල්ලේ සිටිය දී උද්ඝෝෂණය කළ ගම්වාසීන්ට නඩු පටලවා තිබෙනවා.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාවේ පැහැදිළිව සඳහන් වෙනවා යුද හමුදාව වෙඩි තබා තිදෙනකු ඝාතනය කර විශාල පිරිසකට තුවාල සිදුකළ බව. මානව හිමිකම් නිර්දේශවත් තවම ක්‍රියාත්මක කර නෑ.
සති දෙකක් ඇතුළත විසඳුම් නොදුන්නොත් ගම්වාසීන් නැවත පාරට බහින බව කිව්වා. ගම්වාසීන් ගන්නා ක්‍රියාමාර්ගවලට අපෙත් උපරිම සහයෝගය දෙනවා.‘‘
එහිදී අදහස් දැක්වූ පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා.
ප්‍රශ්නගත කම්හල පවත්වාගෙන යෑමට කොන්දේසි සහිත සහතිකයන් නිකුත් කර ඇත්තේ 1994 මාර්තු 03 වැනි දා. එම කම්හල සම්බන්ධයෙන් 1997 මධ්‍යම පරිසර අධිකාරිය විමර්ශනයක් කර වාර්තාවක් නිකුත් කලා. කම්හලෙන් පිට කරන අපජලය සඳහා ප්‍රතිකාර කිරීමට ප්‍රතිකාර පද්ධතියක් සම්පූර්ණ කරන තෙක් කම්හල ආරම්භ නොකළ යුතු බවට වූ කොන්දේසිය කඩ කරමින් කම්හල ආරම්භ කර ඇති බව එම වාර්තාවේ පැහැදිළිව සඳහන් වෙනවා. කම්හලේ ක්‍රියාකාරිත්වය නිසා හට ගන්නා අප ජලය බාහිර පරිසරයට මුදා හැර ඇති බවත් එහි දැක්වෙනවා. එලෙස කොන්දේසි කඩ කර ඇත්නම් කම්හලට එරෙහිව කටයුතු කළ යුතුයි. එය පාරිසරික පනත උල්ලංඝණය කිරීමක්. අපරාධ නීතිය යටතේ නඩු දැමිය හැකියි. මිනිස්සු පාරට බැස උද්ඝෝෂණ කරන්නේ 2013 වසරේ. වසර 16ක් තිස්සේ වාර්තාව තබාගෙන හිටියට නඩු පවරා නෑ.
තවමත් රතුපස්වල ජනතාව බොන්නේ විෂ මුසු ජලයයි. මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. එසේ නොවුණොත් ගම්වාසීන් සමග අපිත් පාරට බහිනවා.‘‘
එහිදී අදහස් දැක්වූ සියනෑ පරිසරය සුරැකීමේ සංවිධානයේ සභාපති ප්‍රසන්න පෙරේරා මහතා.
‘‘රතුපස්වල සහ අවට ගම්මාට 28කට තිබුණු ජල ප්‍රශ්නයට තවම විසඳුම් ලැබී නැහැ. දිනේෂ් ගුණවර්ධන මහත්මයා ජල සම්පාදන ඇමැතිවරයාව සිටිය දී වෝටර් බෝඩ් එකයි ගම්වාසීයි එක්ක කතා වෙලා එකඟතාවයකට ආවා රුපියල් 17,500 ජල සම්බන්ධතාවය මේ ප්‍රශ්නගත ගම්මාන 28ට රුපියල් 3000 ගානේ දෙනවා කියලා. ඒ සඳහා සිතියමක් හැදුවා. නමුත් එය අතරමග නැවතුනා. ගම්මාන 10කට පමණ අර්ධ වශයෙන් දුන්නා. ඉතිරි ගම්මානවලට දීලා නෑ.
ඒ වගේම වෙඩි වැදුණු පිරිසට තවම වන්දි ලබා දීලා නෑ. වෙඩි වැදීම නිසා තවමත් ඔවුන් අතුරු විපාක විඳිනවා. ගමේ උද්ඝෝෂණ කළ පිරිසට පොලිසිය බොරු නඩු පටලවලා.
මේ සිද්ධි ගැන මීට සති දෙකකට පෙර ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ශිරාල් ලක්තිලක මහතා සමග සාකච්ඡාවක් තිබ්බා. අපි ඔහුට කිව්වා දෙසැම්බර 25ට පෙර අපට විසඳුම් අවශ්‍ය බව. ඔහු කිව්වා ඊට සාධාරණ කාලයක් අවශ්‍යයි නමුත් එදින වෙන්න පෙර වැඩ කරන්න පටන් ගන්නවා කියා. නිලධාරීන් සමග සාකච්ඡාවක් දෙන්නම් කිව්වා. අද වෙනකම් කිසිම දෙයක් කරලා නෑ.
මේ ආණ්ඩුව අපේ ඉවසීම පරීක්ෂා කරනවද කියලා අහන්න කැමතියි. අපි මෙතරම් ඉවසරගෙන හිටියේ ආයෙත් ගමේ මිනිස්සුන්ට නිකන් මැරුම් කන්න බැරි නිසයි.
මේ කම්හල ඉවත් කරගෙන ගියා කියලා ප්‍රශ්න ඉවරයි කියලා බොහෝ දෙනෙක් හිතනවා. කම්හළෙන් පරිසරයට මුදා හැර ඇති අපද්‍රව්‍ය තවම ඉවත් කර නෑ. මේ තැන් තවම එහෙමමයි. කම්හල ඉවත් කරගෙන ගියා කියලා නිලධාරීන්ට අත පිහදාගන්න බැහැ. මේවට මොකද කළේ කියා නිලධාරීන් හෙළි කළ යුතුයි.‘‘
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති තරිඳු උඩුවරගෙදර මහතා.
‘‘යුද හමුදාව වැලිවේරියේ වෙඩි තිබ්බේ 2013 අගෝස්තු පළමු වැනිදා වුවත් ජූලි 29 වෙනිදා බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන රතුපස්වලට ගියා. අපි ගාව ඡායාරූප හා වීඩියෝ සාක්ෂි තිබෙනවා. වෙඩි තැබීම සිදුවුණ අගෝස්තු පළමු වැනිදා දවල් ආරක්ෂක ආමාත්‍යංශයෙන් එවූ වාහනයක ගමේ කිහිප දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ සමග රැස්වීමකට ගියා. හවස 3ත් 4ත් ඇතුළත තමයි නුවර පාරේ ඔරුතොට හංදියට මුලින්ම යුද හමුදාවෙන් ගැහුවේ. චානුක කුලසේකර ඡායාරූප ශිල්පියා තුවාල ලැබුවේ ඒ වෙලාවේ. ඔහුගේ කැමරා කුඩු කළා. ඉන් පසු බැලුම්මහර හංදියට ඇවිත් ගැහුවා.
මේ අවස්ථාවේ මාධ්‍යවේදීන් එවකට යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරියට කතා කරලා මේ ගැන කිව්වා. ඔහු කිව්වේ ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා තියෙද්දි පාර හරස් කරගෙන උද්ඝෝෂණය කරන එක වැරදි නිසා පාර හරස් කළ අය ඉවත් කළ බව. මාධ්‍යවේදීන්ට හිතා මතා ගැහුවේ නෑ කිව්වා. ඒ කියන්නේ ඔහු දැනගෙන හිටියා යුද හුමුදාව පැමිණි බව හා මිනිස්සුන්ට ගැහුව බව. මාධ්‍යවේදීන් වරින් වර ඔහුට කතා කර ඉල්ලා සිටියා ගහන එක නවත්වන්න කියලා. ඔහු ඒ අවස්ථාවේ මැදිහත් වුණා නම් ඊට පැයකට පමණ පසු වැලිවේරිය වෙඩි තැබීම වළක්වා ගන්න තිබුණා.
ගෝඨාභය රාජපක්ෂ සමග තිබුණු සාකච්ඡාව අවසන් වුණේ පස්වරු 6.30ට පමණ. ඒ වන විට වැලිවේරියටත් ගහනවා. කම්හල වැහුවා කියන පණිවිඩය මිනිස්සුන්ට දෙන්න ආවා කියන කතාව බොරු. බ්‍රිගේඩියර් වැලිවේරියට ආව ගමන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ලෙස සිටි කේ. උපාලි සමග කතා කරනවා. යුද හමුදාව එන බව වැලිවේරිය ඕඅයිසී කලින් දැනගෙන හිටියේ නැතිනම් ඇයි යුද හමුදාව මැදිහත්වීමට විරුද්ධ නොවුණේ? ඔහු අත්දෙක බැදගෙන බලාගෙන හිටියා විතරයි. ඔහු තමන්ගේ ප්‍රධානියා වෙච්ච ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලෙස සිටි කොමසාරු මහත්මයට කතා කරලා ඒ බව දැනුම් දුන්නද? වෙඩි තියද්දි ඔහු බලාගෙන හටියා. ඉන් පසු කකුල තුවාල වූ බව කියා රෝහල් ගත වුණා. ඔහු අද කතරගම පොලිස් ස්ථානාධිපති.
රුවන් වනිගසූරිය මාධ්‍යවලට කිව්වා පොලිසියේ ඉල්ලීම උඩ උද්ඝෝෂණය පාලනය කරන්න යුද හමුදාව ආ බව හා පොලිසිය සමග එක්ව අවම බලය යොදා උද්ඝෝෂණ පාලනය කළ බව. අවම බලය කියන්නේ වෙඩි තියලා මරණ එකද? රුවන් වනිගසූරිය සහ යුද හමුදාපති ප්‍රකාශයක් කළ යුතුයි පොලිසියේ කාගේ ඉල්ලීම උඩද ආවේ කියලා.
ශ්‍රී ලංකා මානව හිමිකම් වාර්තාවේ පැහැදිළිව සඳහන් වෙනවා වැලිවේරියට යුද හමුදාව කැඳවීම ගැන ලැබුණු ප්‍රකාශ පරස්පර බව. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ව සිටි අනුර සේනානායක මානව හිමිකම් කොමිසමට වාර්තාවක් මගින් දැනුම් දී තිබෙන්නේ ගම්පහ කොට්ඨාස භාර පොලිස් අදිකාරීව සිටි විජිත ඩී කොමසාරු මහතා තමයි හමුදාව යැව්වේ කියලා. එහෙම කියපු අනුර සේනානායක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීගේ අතට දින රහිත ලිපියක් දෙනවා යුද හමුදාව කැඳෙව්වේ පොලිස්පති එන්.කේ ඉලංගකෝන් කියා කියන්න කියලා. පොලිස් අධිකාරී කොමසාරු මහතා ඒ ලියුම උසාවියට ඉදිරිපත් කළා ඔබට මතක ඇති. අනුර සේනානායකට කොහෙන්ද එවැනි ලිවුමක්? එය ඔහු හදපු ලිවුමක්ද ඇත්ත ලිවුමක්ද කියන එක ප්‍රශ්නයක්. විජිත කොමසාරු මහතා මානව හිමිකම් කොමිසමට කිව්වේ යුද හමුදාව කැඳෙව්වේ කවුද කියලා දන්නේ නැහැ කියලයි. ඒ වගේම ලුතිනන් කර්නල් සෝලංගආරච්චි මානව හිමිකම් කොමිසමට කිව්වේ වැලිවේරිය පොලිස් ස්ථානාධිපති දුරකථනයෙන් කළ ඉල්ලීම අනුව පොලිසියේ ආරක්ෂාවට වැලිවේරියට ගිය බව. බ්‍රිගේඩියර් දේශප්‍රිය කියන්නේ ආරක්ෂක ලේකම් සමග තිබුණු සාකච්ඡාවේ තීරණ දැනුම් දෙන්න ගිය බවයි. සාකච්ඡා ඉවර නැතිව කොහොමද තීරණ දැනුම් දෙන්න යන්නේ? සාකච්ඡාවෙන් පස්සේ මොකද කරන්නේ කියලා කළින් සැලසුම් කරලද තිබුණේ? මානව හිමිකම් කොමිසම හිටපු ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණේ නෑ. වැලිවේරියට යුද හමුදාව ගෙන්නුවේ කවුද කියන එක තවම අබිරහසක්. ‘‘
sources – http://sinhala.adaderana.lk/news/56040/%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BD-%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7—%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%A7-%E0%B7%83%E0%B6%AD%E0%B7%92-%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A-%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%94-href=”http://cens.lk/wp-content/uploads/2015/12/untitled.jpg”>