
‘‘යෝජිත ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතියෙන් දැවැන්ත පාරිසරික හානියක්‘‘ – පූජ්‍ය කාරියමඩිත්තේ ඥාණාරාම හිමි
යෝජිත ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දැවැන්ත පරිසර හානියක් සිදුවීමට නියමිත බවත් ලංකාවේ ඉහලම ජෛව විවිධත්වයක් සහිත කොරල් පරය ලෙස සැලකෙන බොනවිස්ටා කොරල් පරයට විශාල හානියක් මින් සිදුවීමට නියමිත බවත් පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික පූජ්‍ය කාරියමඩිත්තේ ඥාණාරාම ස්වාමින් වහන්සේ පැවැසූහ.
කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද සඳහන් කළහ,
‘‘යෝජිත ගාලු වරාය සංවර්ධන ව්‍යාපෘතිය ගාලු බොක්ක හෙක්ටයාර් 45 ක් ගොඩ කර, මීටර් 850 ක් සහ මීටර් 150 ක් දිගැති දිය කඩන දෙකක්, විශාල ප්‍රමාණයේ යාත්‍රා නැවැත්වීමට මීටර් 150 ක් දිග සහ මීටර් 12.5 ක් ගැඹුරකින් යුතු ජැටියක් ද නිර්මාණය කිරීමට යෝජිතය.
පසුගිය රජය සමයේ, දීර්ඝ කාලීන බොහෝ විරෝධතා මැද නතරව තිබූ මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරිමට අදාල කටයුතු සිදු කල අතර මේවන විට පිටු 500 ක EIA වාර්තාවක් මහජන අදහස් විමසීම සඳහා විවෘත කර ඇත. ශ්‍රි ලංකා වරාය අධිකාරියේ යෝජනාවක් මත වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපෘතිය අනුමත කිරීමට කටයුතු කරමින් ඇත.
මෙම ව්‍යාපෘතිය හරහා දැවැන්ත පරිසර හානියක් සිදුවීමට නියමිතව ඇති අතර ලංකාවේ ඉහලම ජෛව විවිධත්වයක් සහිත කොරල් පරය ලෙස සැලකෙන බොනවිස්ටා කොරල් පරයට විශාල හානියක් මින් සිදු වේ. මෙම කොරල් පරයෙන් මත්ස්‍ය විශේෂ 491 ක් සොයාගෙන ඇත. එය මෙරට කොරල් පරයකින් හමු වූ වැඩිම මත්ස්‍යා විශේෂ සංඛ්‍යාව වේ. ලෝක සංරක්ෂණ සංගමය 1993 දී ප්‍රකාශයට පත්කළ ජාතික සත්ව වාර්තාවට අනුව වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මත්ස්‍ය විශේෂ 72 න් 36 ක්ම රූමස්සල කොරල් පරයේ ජීවත් වේ. ඒ අනුව යෝජිත ව්‍යාපෘතිය හරහා කොරල් පර වෙත බලපෑම ඉහළ සහ දිගුකාලීන බලපෑම්ය. ඉන් කොරල් මිය යෑම, වර්ධනය අඩුවීම, අළුතින් ඇතිවීම අඩුවීම, කොරල් සහ මත්ස්‍ය විවිධත්වයට අධික බලපෑමක් සිදු වේ.
එසේම, කැනීම් කටයුතු හේතුවෙන් මුහුදු පතුලට සිදුවන හානිය ද විශාලය. විශේෂයෙන් ලංකාවට වටිනාම සම්පතක් වන කැස්බෑවුන් ප්‍රභේද ගණනාවක්ම මෙම ප්‍රදේශයේ ජීවත් වේ. යන්ත්‍ර මගින් නිකුත් කරන ශබ්ද දූෂණය, තෙල් සහ රසායනික ද්‍රව්‍ය ඉසිරීම මගින් මුහුදු ක්ෂීරපායින් සහ කැස්බෑවුන් ආදි සත්ව සහ ශාඛ විශේෂ මිය යෑම සිදු විය හැක.
ගාලු වරය ආශ්‍රිතව ධීවර කර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවට ද අධික බපෑමක් සිදු වීමට නියමිතය. මත්ස්‍ය ගහණයේ සහ ගැවසීමේ වෙනස්කම්, බෝවීමේ ස්ථාන වෙත ඇතිවන බලපෑම් අධිකය. නොගැඹුරු මුහුදේ අඟුල් ඔරු මගින්, මාදැල් මගින් ධීවර කටයුතු කරන ජනතාවගේ ජීවනෝපාය මුළුමනින් ම අහිමි විම සිදු වේ.
සංචාරක කර්මාන්තයට ද විශාල බලපෑමක් සිදු වේ. හොටෙල් සදහා දෘෂ්ටි පරිසරය විනාශ වීම, දියමත ලිස්සා යෑමේ ක්‍රිඩාවන්හි නිතරවන හිමිකරුවන්, සේවා සපයන්නන්ගේ ජීවනෝපායන් ද අහිමි වීමට නියමිතය. ඒ අනුව ජෛව පරිසර පද්ධතීන්, ජන ජීවිත, ඇතුළු බොහෝ ක්ෂේත්‍රයන්ට දැඩි බලපෑමක්, විනාශයක් ඇති කරමින් යෝජිත ගාලු වරය සංවර්ධන ව්‍යාපෘතිය වහාම නතර කරන ලෙස වත්මන් ආණ්ඩුවට බල කර සිටිමු.‘‘