පරිසරය වෙනුවෙන් අගනා කාර්යයක් ඉටුකරන ලෝක උරුම එල්ලංගා පද්ධතිය
ශ්‍රී ලංකාව අතීතයේ සිට මනා කළමනාකරණයකින් යුතු වාරි මාර්ග පද්ධතියකට හිමිකම් කියයි. කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් අතීත ලාංකිකයින් ජලය සමඟ පවත්වන්නේ ඉතාමත් සමීප සම්බන්ධතාවයකි. එමෙන්ම මෙරට තුළ වියළි කලාපයයේ ජල අවශ්‍යතාවය බොහොමයක් සපුරාලන්නේ වර්ෂා ජලය මඟිනි. කාළගුණික හේතූන් මත වසර පුරාවටම වර්ෂාව නිශ්චිත නොවන අතර වියළි කාලවලදී ජල අවශ්‍යයතාවය සපුරා ගැනීමට ජල කළමනාකරණය යොදා ගැනේ. මෙහි දී ශ්‍රී ලංකාව තුළ හඳුනාගත හැකි විශිෂ්ටම මානව නිර්මාණය වන්නේ ‘වැව’ යි. මේ අනුව වර්ෂා ජලය ගබඩා කරගැනීම සඳහා නිර්මාණය වූ වැව් විශාල ප්‍රමාණයක් වියළි කලාපය පුරා ව්‍යාප්තව ඇත. මහ වැව් මෙන්ම කුඩා වැව් හෙවත් ග්‍රාමීය වැව් ගණනාවකින් සැදුම්ලත් මෙම ජල කලමනාකරණ පද්ධතිය හුදකලා වූවක් නොවන අතර එකිනෙකට සම්බන්ධව පොකුරු වශයෙන් පවතියි.
එල්ලංගාවක් යනු
වියළි කලාපයේ කෘෂිකර්මාන්තය පදනම් කරගනිමින් නිර්මාණය වන්නා වූ ග්‍රාමීය වැව් පද්ධතිය හැදින්වීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් Cascade යන වචනය භාවිත වේ. මෙම නාමය ප්‍රථමවරට ආචාර්යය සී. ආර් පානබොක්කේ මහතා Small Village Tank Systems of Sri Lanka: Their Evolution, Setting, Distribution, and Essential Functions යන කෘතියෙහි භාවිත කර ඇත. මෙම වචනය උතුරු ඇමරිකාවේ රොකී කඳුබෑවුම්වල නිර්මාණය වී ඇති දියදහරාවල් හැඳින්වීම සඳහා යොදාගන්නා නාමයකි. සිංහල භාෂාවෙන් මෙම ජලාපවහන රටාව හැඳින්වීම සඳහා යොදාගන්නා නාමය එල්ලංගා පද්ධතිය නම් වේ. එල්ලංගා යන වචනය නූතන පාරිභාෂිතයට එක් කළේ ආචාර්ය යු.බී තෙන්නකෝන් මහතාය. ආචාර්ය යු.බී තෙන්නකෝන් මහතා ප්‍රකාශ කරන පරිදි එල්ලංගාවක් යනු කුඩා නිම්නයක මුදුනේ සිට පහළට ගලායන දියපාරක් හරහා බැදපු වැව් සමූහයක් තිබෙන කුඩා ප්‍රදේශයක්. එල්ලංගාවේ ප්‍රධාන ඇල හා සම්බන්ධව ඇළවල් තිබේ. නිම්න හරහා බැදපු කුඩා වැව් තිබේ. ශාකීය හෙවත් ගහක අත්තක ආකාරයට , වලයාකාර , රේඛීය හා අවානාකර වශයෙන් එල්ලංගා වර්ග 4ක් හදුනා ගත හැකි බව ආචාර්ය යු.බී තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
එල්ලංගා යන වචනය ගැමි භාෂාවෙන් “ගාවින්ගාවට යාන්තමින් එල්ලා වැටෙන තැන් (වාන්) සහිත දියපාර” යන අර්ථය සහිත ය. ඉන් පසුව මහාචාර්ය චන්දන රෝහණ විතානාච්චි මහතා මෙම ජලාප්‍රවාහන පද්ධතිය සඳහා සුදුසුම නාමය ලෙස ‘තිරස් ජාලගත ග්‍රාමීය වැව් පද්ධතිය’ යන නාමය ඉදිරිපත් කර ඇත.
එල්ලංගා පරිසර පද්ධතිය රජරට වාරි ශීෂ්ඨාචාරයේ හදවත ලෙස හැදින්වීම මා වරදක් ලෙස දකින්නේ නැත. එල්ලංගා පද්ධතියක් යනු තිරසර පදනමක් මත මානවයාගේ මැදිහත්වීමෙන් ජලය , පස , වාතය හා වෘක්ෂ ලතාදිය මානව ශාක සහ සත්ව ප්‍රජාවන්ගේ මූලික අවශ්‍යතා සපුරමින් වියලි කලාපය තුළ සංවිධානය වූ භූමි හා ජල සම්පත් වලින් හෙබි පාරිසරික පද්ධතියකි. එමෙන්ම එල්ලංගා පද්ධතියක් යනු කුඹුරට වාරි ජලය සපයන වැව් පොකුරක් පමණක්ම නොවේ. වියළි කලාපයේ සම්ප්‍රදායික ගමක සමාජීය, සංස්කෘතිකමය සහ පාරිසරික අංගයකි. වසරේ කෙටි කාලයකදී රට මෝසම් සුළං අවස්ථා දෙකක දී ලැබෙන වර්ෂාව හේතුවෙන් පොළොව මතින් ගලා ගිය වර්ෂා ජලය රඳවා තබාගෙන වසර පුරා ජලය රැඳි ඵලදායී බිමක් බවට පත් කිරීම සඳහා එල්ලංගා පද්ධති උපකාරී විය. ඒ වගේම ශ්‍රී ලංකාවේ කුඩා ග්‍රාමීය වැව් 14,000 ක් පමණ දැනට ක්‍රියාත්මක තත්ත්වයේ පවතියි. මෙයින් සියයට 80 ක් පවතින්නේ එල්ලංගා පද්ධති ලෙසයි. මෙවැනි එල්ලංගා පද්ධති 1200 ක් පමණ මේ වන විට හඳුනා ගෙන ඇත. කෙසේ නමුත් ජනගහන වර්ධනයත් සමඟ මානව ජනාවාසකරනය මෙම එල්ලංගා පරිසර පද්ධතියට දැඩි බලපෑම් එල්ල කරමින් ව්‍යාප්ත වනු දැකිය හැකිය.
එල්ලංගා පද්ධතියේ වැදගත්කම
ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමට අනුව ප්‍රධාන වැව් එල්ලංගා පද්ධති කලාප තුනක් හඳුනාගත හැකි වේ. එනම් උතුරු උතුරුමැද කලාපය , වයඹ කලාපය සහ රුහුණු කලාපයයි. එල්ලංගා පද්ධතිවලින් සියයට 90 ක්ම මෙම කලාප ත්‍රිත්වයට අයත්වනු ඇත. වියළි කලාපයේ හඳුනාගත හැකි මෙම ජලාපවහාන පද්ධතිය කිසිසේත්ම හුදකලා වූ පද්ධතියක් නොව. මෙය කුළු වැව්, ග්‍රාමීය වැව්, විශාල වැව් සහ ඇළ මාර්ග ආදියෙන් සමන්විතව ඇත. එල්ලංගා වැව් පද්ධතියක ඉහළින්ම පවතින වැවට ජලය ලැබෙන ඇළ මාර්ගය මූලික ජල ප්‍රභවය ලෙස හඳුන්වනු ඇත. එමෙන්ම එක් වැවක් පෝෂණය වන ප්‍රදේශය ක්ෂුදු ජල පෝෂක ප්‍රදේශය ලෙස හැඳින්වේ. එක් වැවක සිට ඇළ මාර්ග ඔස්සේ තවත් වැවකට ජලය සැපයෙන අතර එම ඇළ මාර්ග අතර වැවෙන් පහළ ජලය ලබාගත හැකි කොටසේ කුඹරු අස්වැද්දීම සිදු වේ. ඒ අනුව සරලව ගත් කළ මේ තුළින් සිදුවන්නේ එක් වැවකින් ඉවත්වන අතිරික්ත ජලය සහ කෘෂිකර්මාන්තය සඳහා භාවිත කරන ලද ජලය නැවත පරිභෝජනය කිරීමකි.
ශ්‍රී ලංකාව කෘෂිකර්මාන්තය බහුලව ව්‍යාප්තව ඇත්තේ වියළි කලාපීය ප්‍රදේශයන්වල ය. වියළි කලාපීය ප්‍රදේශන්වල ජනතාව තම ජල පරිභෝජන අවශ්‍යතාවය වැඩි වශයෙන් සපුරාගනු ලබන්නේ වර්ෂා ජලයෙනි. එමෙන්ම කෘෂිකාර්මික අවශ්‍යතාවයත් එදිනෙදා පරිභෝජන අවශ්‍යතාවයත් පෙරදැරි කරගෙන අතීතයේ විසූ ජනයා වර්ෂා ජලය ගබඩාකර ගැනීම සඳහා වැව නිර්මාණය කර ඇත. වැවට එක් රැස්වන ජලය මනා කළමනාකරණයකින් යුතුව ප්‍රයෝජනයට ගැනිම සඳහා එල්ලංගා වැව් පද්ධතිය මහත් සේ උපකාර වනු ඇත.
එල්ලංගාවක රැඳෙන ජලය හේතුවෙන් භූගත ජල මට්ටම ඉහළ යන අතර උල්පත්වල ජලය ද වැඩි කාලයක් පුරා ආරක්ෂා වීම සිදු වේ. ඒ නිසා පසේ ක්ෂුද්‍ර ජීවීන්ට හොඳින් වැඩීමට සුදුසු තත්ත්වයක් ඇති වේ. මේ නිසා පසේ ක්ෂුද්‍ර ජීවීන්ගේ ප්‍රමාණය ඉහළ යයි. මේ ක්ෂුද්‍ර ජීවීන් පසට එක්වන සත්ව හා ශාක කොටස් ජීරණය කරමින් පසට පොහොර ලබාදීමක් සිදු කරයි. මේ ක්‍රියාකාරීත්වය නිසා පසේ වසර පුරා ස්වභාවික පොහොර නිපදවමින් පස සරුසාර වේ. වැව් ආශ්‍රිත ප්‍රජාවට ආහාර සැපයීම ගෘහ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම, සතුන් හා ශාකවලට උචිත වාසභූමි සැලසීම එල්ලංගා පද්ධතිවලින් සැලසෙන සේවාවන් වේ. එමෙන්ම එල්ලංගා පද්ධති යනු ජල ගැලීම් සහ නියං තත්ත්වයන් දෙකටම ඔරොත්තුදීමට උපකාරී වන සුවිශේෂී පාරිසරික ක්‍රමෝපායකි. එමගින් භූමිය මතුපිට ජලය ගලා යෑම පාලනය කිරීම, භූගත ජලය ප්‍රතිස්ථාපනය කිරීම මෙන්ම වියළි කලාපීය පරිසරයට අලංකාරයක් එක් කරයි. මෙම ජලාපවහන පද්ධතිය ස්වාභාවික ජල පෙරණයක් ආකාරයෙන් ද ක්‍රියාත්මකවනු ඇත. එමෙන්ම එල්ලංගා වාරි පද්ධතිය මිනිස් සිරුරේ වකුගඩු මෙන් ජල පෙරණයක් ලෙස ක්‍රියාත්මක වන අයුරින් අදාළ පද්ධතිය ඉදිකර ඇති බව නුතන පර්යේෂණවලින් අනාවරණ වී තිබේ. එමෙන්ම එල්ලංගා වැව් පද්ධතිය තුළ ඒ වටා නිර්මාණය වූ සුවිශේෂී පරිසර පද්ධතියක් හඳුනාගත හැක. විවිධ ශාක මෙන්ම විවිධ සත්ත්ව ප්‍රජාවන්ගෙන් සමන්විත පුළුල් ජෛව විවිධත්වයක් මෙම ජලාප්‍රවාහන පද්ධතිය හා බැදී පවතී.
එල්ලංගා පරිසර පද්ධතියක දක්නට ලැබෙන සුවිශේෂි අංග කිහිපයක්
ගස්ගොම්මන
ගස්ගොම්මන ජල පෙරණයක් ලෙස ක්‍රියාත්මක වේ. වැවක ජලය පිටාර මට්ටමට පැමිණි විට පමණක් ජලය රදා සිටින වැවේ ඉහළ කොටසේ ස්වාභාවිකව නිර්මාණය වී ඇති වෘක්ෂලතා සහිත ප්‍රදේශය ගස්ගොම්මන ලෙස හදුනාගනී. විශේෂයෙන්ම මෙම කලාපයේ හඳුනාගත හැකි ශාකයන් ජලයේ පාවී ආ බීජයන්ගෙන් රෝපණය වූ ශාකයන් ය. මෙම කලාපය තුළ බහුළ වශයෙන් කුඹුක් , නාඹඩ ,දඹ ,මයිල ,බොකල වැල් ,එලිපත්ත , කළවැල් වැනි වෘක්ෂයන් සහ වැල් වර්ග දැකගත හැක. මෙම ස්වාභාවික වෘක්ෂලතා කලාපය ප්‍රයෝජන රැසක් ලබාදෙන්නා වූ කලාපයකි. වැවේ ජලය සඳහා සුළං බාධකයක් ලෙස මෙම කලාපය ක්‍රියාකරයි. වියළි කලයේ දී වැවේ ජලය සෞම්‍ය මට්ටමේ පවත්වා ගනිමින් වාෂ්පීකරණය අවම කිරීමට ගස්ගොම්මන උපකාරී වේ. මෙම කලාපයේ බහුලව වර්ධනය වන කුඹුක් ශාකයන්ගේ මුල් වැව් ජලයේ ජීවත්වන මත්ස්‍ය පරම්පරාවට මනා වාසස්ථානයකි. ජල පෙරණයක් ලෙස ක්‍රියාත්මක වීමේ දී ඉහළින් ගලා එන ජලය සමඟ එන රොන්මඩ ආදිය තැන්පත් වීම සිදුවේ. මෙම කලාපය සත්ත්ව ජනාවාස සහ මානව ජනාවස වෙන් කරන මායිමක් ලෙස ද ක්‍රියාත්මක වීම සත්ත්ව ප්‍රජාවට මිනිසුන්ගෙන් ඇතිවන බලපෑම අවම කිරීමට ද හේතු වී ඇත.
කට්ටකඩුව
වැව් බැම්මට පහළින් ද කුඹරු යායට ඉහළින් ද පිහිටා ඇති මෙම ප්‍රදේශය රක්ෂිත භූමියකි. මෙහි දේශගුණ පරිසර ත්‍රිත්වයක් හඳුනාගත හැක. ඒවා නම්, වතුර වල , තෙත් බිම් , වියළි උස් බිම් වේ. මෙම පරිසරය තුළ හඳුනාගත හැකි මෙම විවිධත්වය හේතුවෙන් ම විවිධ ශාක වර්ග මෙන්ම එම ශාකයන් හොදින් වර්ධනය වීමට අවශ්‍ය සාධකයන් නිර්මාණය වී ඇත. තාක්ෂණිකව මෙම කට්ටකඩුව නිර්මාණය කිරීමේ දී වැව් බැම්මේ පළලට සමාන පළලකින් යුතුව නිර්මාණය කර ඇත. මෙම ශාක සහිත කලාපයක් නිර්මාණයේ ප්‍රධාන අරමුණ වන්නේ ජලයේ ඇති ලවණ අවශෝෂණය කර ගැනීමයි. ජලයේ ඇති ලවණ සහ ලෝහ මිශ්‍ර අයන ඉවක් කර කුඹුරු සඳහා ජලය ලබා දෙන අතර එය යතුරුවල ලෙස ද හඳුන්වයි. විවිධ ශාක වර්ගයන්ගෙන් සමන්විත වීම හේතුවෙන් ශක්තිමත් මුල් පද්ධතියකින් ද සමන්විත මෙම ප්‍රදේශය වැව් බැම්මේ ආරක්ෂාවට ද වැවෙන් පහළ ප්‍රදේශයේ සුළං බාධකයක් ලෙස ද ක්‍රියා කරයි. මෙම කලාපයේ ඇති කුඹුක් වැනි ශාකයන ජලයේ ඇති ලවණ අවශෝෂණය කරගනිමින් පිරිසිදු ජලය ලබා දෙන අතර පුරාණ ගැමියන් පානීය ජලය ලබා ගෙන ඇත්තේ මෙම ප්‍රදේශයෙනි. වැව් බැම්ම ඉහළ ප්‍රදේශයේ වැටකෙයියා ශාකය දැකගත හැක. කට්ටකඩුව තුළින් ගැමියන්ගේ එදිනෙදා අවශ්‍යතා බොහෝමක් සපුරා දෙනු ඇත.
පෝටාවැටිය සහ ඉස්වැටිය
ඉහළ ප්‍රදේශවල සිට වැවට එන ජලයේ අවසාදිත රදවා ගැනීම සදහා මෙම අංගයන් උපකාර වේ. මෙම ප්‍රදේශය තුළ වැවේ ජලය උපරිම කාලයන් හි දී ජලය රදවා ගනිමින් වියළි කාලයේ දී ක්‍රමයෙන් වැවට එම රදවාගත් ජලය ලබා දේ. මෙම කලාපය රොන්මඩ සහිත කලාපයක් වන අතර මෙය අර්ධ ජලජ ශාක සහ සත්ත්ව ප්‍රජාවට හොඳ වාසස්ථානයකි.
විශේෂයෙන්ම අපේ ආදි මුතුන් මිත්තන් තම කාර්යයන් සඳහා පරිසරය වෙනස් කළ ද ස්වාභාවිකත්වයට හානි නොවන ආකරයෙන් පරිසරය සමඟ මනා ගනුදෙනුවක් පවත්වා ගනිමින් තම අවශ්‍යාතා සපුරා ගැනීමට කටයුතු කර ඇත. එයට කදිම නිදසුනක් ලෙස පැරැන්නන් නිර්මාණය කරගත් එල්ලංගා පද්ධතිය හඳුන්වා දිය හැක. තම කෘෂිකාර්මික දිවි පෙවත පවත්වාගෙන යාම උදෙසා නිර්මාණය කරගත් මෙම ජලාප්‍රවාහන පද්ධතිය තුළ ස්වාභාවික පරිසරයට හානි නොවන ආකරයෙන් මිනිසාටත් සත්ත්ව ප්‍රජාවටත් ජීවත්විය හැකි ආකාරයෙන් ගොඩනගා ගෙන ඇත. මෙම ජලාප්‍රවාහන පද්ධතිය විවිධ වූ ප්‍රයෝජනයන් රැසක් අත්කර දෙන්නාවූ පද්ධතියක් ලෙස ද හඳුන්වාදිය හැක. වියළි කලාපය යනු වර්ෂාව අවම කලාපයන් වන අතර එම ප්‍රදේශයන්ගේ සශ්‍රීක බව රදවා තබා ගැනීමට මෙම ජලාප්‍රවාහන පද්ධතිය රුකුලක් වී ඇත. සැබැවින්ම අහස් ජලය රදවා තබා ගැනීමට වැව පමණක් ඉදිකළානම් වර්තමානයේ අපට මෙතරම් කතා කීරීමට සශ්‍රීකවත් රටක් හෝ විශිෂ්ට වාරි තාක්ෂණයක් නොතිබෙන්නට හැක. මන් ද යත් වැව ඉදිකළ පමණිත් ගොවිතැන් කීරමට හැකියාවක් නොමැත. ඒ හා සම්බන්ධව ජලය නිසි පරිදි කළමණාකරනය කරගනිමින් පරිභෝජනය කළ යුතු ය. එම නිසි පරිදි ජල කළමනාකරණය එල්ලංගා පද්ධතියක් තුළින් මැනවින් සිදු වේ. එල්ලංගා පද්ධතිය නිර්මාණයේ දී වියළි කලාපයේ දී මහවැවේ ජලය අවම කාලයේ දී එහි ජලය ආරක්ෂා කරගනිමින් ඒ වටා ඇති පරිසරය නිසි පරිදි පවත්වගෙන යන්නේ කෙසේ ද යන්න කෙරෙහි ද අවධානය ලබා දී ඇත. මේ අනුව බලන කළ සැබැවින් ම පුරාණ හෙළ වාරි තාක්ෂණය විශිෂ්ට තාක්ෂණයක් බව කිව හැක. මීට සියවස් ගණනාවකට පෙර නිර්මාණය වූ එල්ලංගා වාරි තාක්ෂණය අදටත් රජරට ගොවීන් තම කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගනී. වර්තමානයේදීත් මෙරට වියළි කලාපයේ කෘෂිකාර්මික කටයුතු සිදුවන්නේ වැවෙන් ලබාගන්නා ජලයෙනි.
පුරාණ මුතුමිත්න් පරිසරය සමඟ ගනුදෙනු කර ඇත්තේ ඉතාමක් අරපරෙස්සමෙනි. තමන්ට අවැසි ආකාරයෙන් පරිසරය නිර්මාණය කරගත් නමුත් පරිසරයේ සමතුලිතතාවයට හානිවන ආකාරයෙන් ක්‍රියාකර නොමැත. නමුත් වර්තමානයේ එම තත්වය හඳුනාගත නොහැකි වන හෙයින් ඒ වටා ගොඩනැගී ඇති පරිසරයට හානිකර තත්වයන් උදාවිය හැක.
එල්ලංගා ගම්මාන ක්‍රමවේදය ලෝක කෘෂිකාර්මික උරුමයක් ලෙස නම් කරයි
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලංකාවේ වියලි කලාපයේ ක්‍රියාත්මක වන ‘එල්ලංගා’ ක‍්‍රමවේදය ගෝලීය වශයෙන් වැදගත්වන ලෝක කෘෂිකාර්මික උරුමයක් ලෙස නම්කර තිබේ. ගෝලීය වශයෙන් වැදගත්වන නව ලෝක කෘෂිකාර්මික උරුමයන් හඳුනාගන්නා ජාත්‍යන්තර සංසදය පවත්වනු ලැබූ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ ‘එල්ලංගා’ ක‍්‍රමවේදය මෙසේ සම්මානයට පාත‍්‍රවිය. ලෝක උරුම සංකල්පයක් වශයෙන් කෘෂිකාර්මික උරුමයක් වශයෙන් ශ්‍රී ලංකාවේ එල්ලංගා වාරි පද්ධතිය කෘෂිකාර්මික උරුමයක් වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙන අතර අපේ රටේ කෘෂිකාර්මික උරුමයන් මෙන්ම වැව් පද්ධතිය ලොවට හඳුන්වාදීමට එමගින් හැකිවෙයි.
එල්ලංගා පද්ධතියට ඇති බලපෑම
මෙරට සාම්ප්‍රදායික ආර්ථිකයේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන මෙම එල්ලංගා වැව් පද්ධතිය අතීතයේ සිටම විදෙස් ආක්‍රමණ , වසංගත තත්ත්ව, යටත් විජිත සමයේ ආදි නොයෙක් අවස්ථාවන්හිදී අත්හැර දැමීමට සිදු වී ඇත. මෙම එල්ලංගා වැව් පද්ධතිය වෙත වර්තමානයේදී ද සමාජයෙන් දේශපාලනමය, ආර්ථිකමය සහ සමාජීය වශයෙන් විවිධ බලපෑම් එල්ල වෙමින් පවතී. ඒවා ඇතැම් විට හිතකර බලපෑම් විය හැකි අතර තවත් ඒවා අහිතකර ප්‍රතිඵල ගෙන දෙන බලපෑම් ද විය හැකිය. මෙවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන ගණනාවක්ගේ සහභාගීත්වයෙන් එල්ලංගා වැව් පද්ධති පරිසර විද්‍යානුකූලව ප්‍රතිෂ්ඨාපනය කිරීමක් සිදු විය. එය මෙම පරිසර පද්ධති වෙත ලැබුණු සුවිශේෂි අවස්ථාවක් ලෙසින් හඳුන්වාදිය හැකිය.
කෙසේ නමුත් බහු කාර්ය වාරි මාර්ග ව්‍යාපෘතීන් සහ අවිධිමත් ලෙස නිවාස සහ වෙනත් ඉදිකිරීම් මෙම එල්ලංගා පරිසර පද්ධතීන්ගේ පැවැත්මට බාධා එල්ල කරනු ලබයි. එමෙන්ම වැඩි විශ්කම්භයකින් යුතු වගා ළිං හෑරීම ආදිය හේතුවෙන් භූගත ජල මට්ටම සීඝ්‍රයෙන් අඩු වී ඒ ආශ්‍රිත පරිසර පද්ධතීන්ගේ සමතුලිත බව හීන වෙන අතර එය වක්‍රාකාරයෙන් අයහපත් ලෙසින් බලපෑම් කරනු ලබන්නේ මෙම එල්ලංගා වැව් පද්ධතිය වෙත ය. එමෙන්ම කෘෂිකර්මික කටයුතු වලදී බහුලවම භාවිත වන බැර ලෝහ වර්ග ඇතුළත් විවිධ කෘෂි රසායන ද්‍රව්‍යයන් දිගු කාලීනව වායු ගෝලය සමඟ, භූගත සහ භූතල ජලය සමඟ මුසු වේ. එය එල්ලංගා වැව් පරිසර පද්ධතිය වාසස්ථාන කරගෙන වෙසෙන ශාක සහ සත්ත්ව ප්‍රජාවට මෙන්ම එහි පැමිණෙන සංචාරක පක්ෂීන් වෙත අහිතකර අන්දමින් බලපානු ලබයි. සතුන්ට ඒවා ආග්‍රහණය වීමත් සහ ශරීරගත වීමත් හේතුවෙන සතුන් මිය යාම, වර්ගය බෝ කිරීමේ ප්‍රවණතාවය බාල වීම සහ වඳවී යාමේ තර්ජනයට ලක් වීම ආදි නොයෙක් විපත් ගෙන දේ. එල්ලංගා වැව් පද්ධතියේ කොටස්කරුවන් වන මේ සියලු ජීවීන් සහ පරිසරය අතර වන සබැඳියාව සහ පාරිසරික සමබරතාවය මේ නිසා ගිලිහී යන අතර එම පද්ධතියේ පැවැත්මට නිසැකවම එය අභියෝගයක් වේ.
ශ්‍රී ලංකාවේ එල්ලංගා පද්ධති පිළිබඳව පර්යේෂණ සිදුකළ , පරිසර හා සොබාදහම් අධ්‍යයන මධස්ථානයේ ජාතික සම්බන්ධිකාරක පරිසරවේදී ආචාරය රවීන්ද්‍ර කාරියවසම් මහතා එල්ලංගා පරිසර පද්ධතිය සහ එල්ලංගා පරිසර පද්ධතිය විනාශ වීමට බලපාන හේතු සාධක පිළිබඳව ‘සිළුමිණ‘ ට මෙසේ අදහස් දැක්වීය.
‘‘එල්ලංගා පරිසර පද්ධතිය යනු ලෝකයේ තිබෙන සුවිශේෂි පරිසර පද්ධතියක්. පලුගස්වැව එල්ලංගා පද්ධතිය ලෝක උරුමයක් ලෙස යුනෙස්කො ආයතනය නම් කරලා තිබෙනවා. ලංකාවේ වැව් පද්ධතිය පිහිටා තිබෙන්නේ හුදකලාව නෙවෙයි. ගම් වැව් , මහ වැව් , දන වැව් , ඔලගම් වැව් ලෙස ලංකාවේ වැව් පද්ධතිය අපිට වර්ගිකරණයක් කළ හැකියි. උදාහරණයක් ලෙස අනුරාධපුරයේ තිබෙන වැව් සියල්ල එක පද්ධතියක්. රජරට පිහිටා තිබෙන වැව් පද්ධතිය ඇලෙන් ඇලට වැවෙන් වැවට එකිනෙකට සම්බන්ධ වෙලා තමයි තිබෙන්නේ. ජලය මුහුදට ගලාගෙන යන තුරු එකම පද්ධතියක් විදිහට තමයි වැව් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම පොලොන්නරුවේ තිබෙන වැව් පද්ධතියත් එකිනෙකට බද්ධ වෙලා තමයි තිබෙන්නේ.
උදාහරණයක් විදිහට අඹන් ගග ආරම්භ වෙන්නේ නකල්ස් කදුවලින් ගලාගෙන එන ජල ධාරාවලින්. අඹන් ගග හරස් කරලා වසඹ රජතුමා අමුණක් නිර්මාණය කරනවා. ඒ අමුණ තමයි ඇලහැර අමුණ. ඇලහැරදි අඹන් ගග හරස් කරලා වසඹ රජු රජරටට ජලය ගෙන යනවා. ඇලහැර අමුණෙන් ගලාගෙන යන ජල පහර ඇලහැර මින්නේරිය යෝධ ඇල දිගේ කිලෝමීටර 32.5 ක දුරක් දියබෙදුම කියන ස්ථානය දක්වා ගලාගෙන යනවා. දියබෙදුමෙන් ගිරිතලේ වැවට සහ මින්නේරිය වැවට වතුර බෙදෙනවා. මින්නේරිය වැවෙන් කවුඩුල්ල ජලාශයට , කන්තලේ ජලාශයට , වෙන්ඩ්‍රාසකුලම් ජලාශය දක්වා ජලය ගෙන ගොස් ඒ ජල පාර ඇලමාර්ග ඔස්සේ මහ මුහුදට එකතු වෙනවා. එ් විතරක් නෙවෙයි ඇලහැර සිට කන්තලේ දක්වා ගමන් කරන අඹන් ගගේ ජලයෙන් ඉහකුළු වැව , රොට වැව , මටළු වැව , කෝදුරු වැව , වැනි කුඩා වැව්වලට ද ජලය සපයනවා. මේ ආකාරයට තමයි අඹන් ගඟ ආශ්‍රිතව එල්ලංගා පද්ධතිය නිර්මාණය වෙලා තිබෙන්නේ. වැව් කියන්නේ හුදකලා වුණ දෙයක් නොවන බව ඒ අනුව පෙනී යනවා.
ඒ වගේම අනුරාධපුර තිබෙන ලංකාවේ පළමු වැව වන අභය වැව පණ්ඩුකාභය රජු නිර්මාණය කරන්නේ තවත් අවුරුදු 400 කින් සෑදිය යුතු වැව ගැන අදහසක් සහිතවයි. වැව් පද්ධතියේ පලමු වැව විදිහට තමයි අභය වැව නිර්මාණය කරන්නේ. පණ්ඩුකාභය රජතුමාට අදහස් තිබිලා තියෙනවා වැව් පද්ධතිය අවසන් වෙන්නේ කොහෙන්ද කියලා. ඒ අනුව වාරි එල්ලංගා පද්ධතිය කියන්නේ පරිසර විද්‍යාත්මකව සහ සංස්කෘතිමය ආකාරයෙන් වැදගත් අංගයක්. ඒ වගේම ලංකාවේ වියළි කලාපයේ තිබෙන සුවිශේෂිම පරිසර පද්ධතියක් ලෙසත් මේ වාරි එල්ලංගා පද්ධතිය හදුන්වා දෙන්න පුලුවන්. වාරි එල්ලංගා පද්ධතිය පක්ෂින්ට අභියභුමියක් , සංරක්ෂණයට වෙන් නොකළ නමුත් පරිසරය වෙනුවෙන් අගනා කාර්යයක් ඉටු කරන පද්ධතියක් තමයි වාරි එල්ලංගා පරිසර පද්ධතිය. ඒ නිසා ලංකාවේ තිබෙන වාරි එල්ලංගා පරිසර පද්ධතිය වෙනුවෙන් අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි.
එල්ලංගා වාරි පද්ධතිය අතීතයේ සිදුකළ සංවර්ධන ක්‍රියාවලියක්. නමුත් ඒ සංවර්ධන ක්‍රියාවලිය සොබාදහම භාර ගෙන තිබෙනවා. ඒ වගේම වර්තමානයේ සිදුකරන සංවර්ධන ක්‍රියා සොබාදහම භාර ගෙන නැහැ. ඒ වගේම මේ වනවිට එල්ලංගා පද්ධතිවල ජලය ගලාගෙන යන ඇල මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් අවහිර වෙලා තිබෙනවා. මේ නිසා පොඩි වර්ෂාවක් පැවතියත් වියළි කලාපයට ගං වතුර අවදානමක් ඇති වෙනවා. ඒ වගේම පොඩි වියළි කාලගුණයක් පැවතියත් එයින් විශාල හානියක් සිදුවෙනවා. අද වනවිට මේ එල්ලංගා පරිසර පද්ධතිය නිසියාකාරව සක්‍රීය තත්ත්වයේ පවතින්නේ නෑ. වගකිව යුතු බලධාරින් නිසි අධ්‍යනයක් සිදුකර අවහිර වෙලා තිබෙන ඇල මාර්ග එල්ලංගා පරිසර පද්ධතියට හානි නොවන ආකාරයට පිලිසකර කිරීම සිදුකළ යුතුයි. ඒ වගේම අපි කතා කළ ආගන්තුක ආක්‍රමණශිලි මත්ස්‍යයින් , ආගන්තුක ආක්‍රමණශිලි ශාක එල්ලංගා පරිසර පද්ධතියට ඇතුළු වෙලා තිබෙනවා. ඒවා මෙම පරිසර පද්ධතියෙන් ඉවත් කරන්නේ කෙසේද කියලා සොයා බැලිමක් අදාල බලධාරින් සිදුකළ යුතුයි. උදාහරණයක් විදිහට ජපන් ජබර කියන ආක්‍රමණශිලි ශාකය එල්ලංගා පරිසර පද්ධතියට විශාල බලපෑමක් එල්ල කරනවා. එවැනි ශාක තිරසර ආකාරයට ඉවත් කරන්නේ කෙසේද කියලා සොයා බැලිය යුතුයි.‘‘
ශ්‍රී ලංකාවේ ඇති මෙම එල්ලංගා වැව් පද්ධතිය ලෝකයේ වෙනත් කිසිදු තැනක දක්නට නොමැති ලංකාවටම පමණක්ම ආවේණික වූ අතීතයෙන් ලද දායාදයක්ය. එය අනාගතයටත් පවත්වා ගෙන යායුතු වේ නම් එහි පැවැත්ම වර්තමානයේදීම සනාථ කරගතයුතු වේ. එසේ කිරීමට නම් සමාජයේ වෙසෙන සෑම පුරවැසියෙක්ම මේ සඳහා මැනවින් දායක කර ගත යුතුය. සම්ප්‍රදායික තාක්ෂණය භාවිතයෙන් අතීතයේ ගොඩ නැගූ මෙම පද්ධතිය ඉදිරියටත් එළෙසින් පවත්වාගෙන යෑමේදී නවීන තාක්ෂණය මනා අවබෝධයකින් යුතුව භාවිත කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එවිට ලෝක උරුමයක් වන එල්ලංගා වැව් පද්ධතිය අනාගතයටත් දායාද කළ හැකි වන බව මගේ මතයයි.
සටහන – දිමුතු සදරුවන් ධර්මසිරි
(තොරතුරු සහ ඡායාරූප උපුටා ගැනිම එල්ලංගා පරිසර පද්ධතිය ආශ්‍රිතව රචනා වූ ග්‍රන්ථ සහ පර්යේෂණ පත්‍රිකා ඇසුරිණි)