‘2010 සිට 2024 අගොස්තු 31 වැනිදා වන විට අලි මරණ 4326 ක්‘ – පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය
ඉදිරියේ දී පත්වන රජය වන අලි මිනිස් ගැටුම විසදිමට පලමුවෙන් ජාතික ඉඩම් පරිහරන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවත් එම සැලැස්ම තුළින් වනඅලි සහ මිනිසුන් අතර ගැටුම අවම කරන්නට සහ සතුන් සහ මිනිසුන් අතර තිබෙන ගැටුම් අවම කරන්න හැකියාවක් ලැබෙන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික දිමුතු සඳරුවන් සඳහන් කළේය.
අලි මිනිස් ගැටුම හා පාරිසරික දේශපාලන අර්බුදය පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පසුගියදා ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ කාරක සභික දිමුතු සඳරුවන් මෙසේ මේ බව පැවැසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීය.
‘‘ලොව අලි – මිනිස් ගැටුම මගින් වැඩිම අලින් සංඛ්‍යාව සහ දෙවැනියට වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් වාර්ෂිකව මරණයට පත්වන රට ශ්‍රී ලංකාව බව මේ වන විට අනාවරණය වී තිබෙනවා. මේ වනවිට ලංකාවේ පළාත් 08 කට අයත් දිස්ත්‍රික්ක 19 ක පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 131 ක අලි – මිනිස් ගැටුම් වාර්තා වෙනවා.
එමෙන්ම මෙතෙක් දිවයිනේ වැඩිම අලි – මිනිස් ගැටුම් ප්‍රමාණයක් වාර්තාවී තිබූ වයඹ පළාතේ වන අතර තරමක් අඩු වශයෙන් ගැටුම් වාර්තාවූ උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල ගැටුම් ඉහළ යමින් පවතියි.
එමෙන්ම 2022 වසරේ අලි මරණ 439 ක් වාර්තා වී ඇති අතර 2023 වසරේ අලි මරණ 470 ක් වාර්තා වී තිබුණි. මේ වසරේ අගොස්තු 31 වන විට අලි මරණ ගණන 85 ක් වාර්තා වූ අතර ඒ අනුව 2010 සිට 2024 අගොස්තු 31 වැනිදා වන විට අලි මරණ 4326 ක් වාර්තා වී තිබුණි.
වියලි කලාපය පුරා පිහිටලා තිබෙන වන රක්ෂිත, වනජීවී රක්ෂිත එකිනෙකට ඛණ්ඩනය කරමින් සිදු කෙරෙන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වීම සහ මහා පරිමාණයෙන්ම වනාන්තර එළිපෙහෙලි කිරීම නිසා වන අලින්ගේ වාස භුමි ඔවුන්ට අහිමිවෙමින් පවතියි. එපමණන් නොව වාණිජ වගාවන් ව්‍යාප්ත කිරීම සඳහා මහා පරිමාණයෙන්ම වනාන්තර එළි පෙහෙළි කිරීම හරහාද වන සතුන්ට ඔවුන්ගේ වාස භුමි අහිමිවීමේ තර්ජයක් මතුව තිබේ.
එමෙන්ම ගවපට්ටි පවත්වාගෙන යන පුද්ගලයින්ගේ හරක්, මීහරක් ලුණුගම්වෙහෙර, උඩවලව, මාදුරුඔය,ගල්ඔය වගේ ජාතික වන උද්‍යානවලට මහා පරිමාණයෙන්ම ඇතුලත් කිරීම සිද්ධ වන අතර ඒවායේ ප්‍රතිඵල විදිහට සිද්ධ වෙන ප්‍රධාන ක්‍රියාවලිය වන්නේ අලි ඇතුන්ට තිබෙන පෝෂක ප්‍රභවයන් නැතී වී යාමයි. එහි ප්‍රතිඵලයක් විදිහට මේ රක්ෂිත තුළ ජීවත්වන අලි ඇතුන් ගම්මානවලට පිවිසීම සිද්ධ වනවා.
කෙසේ නමුත් ඉදිරියේ පත්වන රජය වන අලි මිනිස් ගැටුම විසදිමට පලමුවෙන් ජාතික ඉඩම් පරිහරන සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් කිසිම පාලකයෙක් ඒ දෙය ඉටු කරලා නෑ. එම සැලැස්ම තුළින් වනඅලි සහ මිනිසුන් අතර ගැටුම අවම කරන්නට සහ සතුන් සහ මිනිසුන් අතර තිබෙන ගැටුම් අවම කරන්න හැකියාවක් ලැබේ.
වනඅලි ගහණය විශාල වශයෙන් වැඩි වී නැතත් අලි – මිනිස් ගැටුම හේතුවෙන් අහිමි වන වන අලින් නිසා යම් දිනෙක වන අලි සම්පත අපේ රටෙන් තුරන්වීමට ඉඩකඩක් තිබෙන අතර එමනිසා ඉදිරියේ දී සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා දෙන්නේ නම් වන අලි හා වෙනත් දුර්ලභ සතුන් ගැවසෙන වනාන්තර ආශ්‍රිත ඉඩම් සම්බන්ධව දැඩි තීන්දු තීරණ ගත යුතුයි.‘‘