NEWS
‘’රටේ සම්පත් අනාගත පරම්පරාවන්ට රැක දීමට සවිඥ්ඥානිකව මැදිහත් විය යුතුයි”

‘’රටේ සම්පත් අනාගත පරම්පරාවන්ට රැක දීමට සවිඥ්ඥානිකව මැදිහත් විය යුතුයි”

පසුගිය ආණ්ඩු මෙන් වර්තමාන ආණ්ඩුව ද 2048  ජාතික භෞතික සැලැස්මට අනුව රටේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හරහා දැවැන්ත පරිසර හානියක් සහ ජාතික සම්පත් විදේශීයකරණයට ලක්කරමින් සිටින බව  පූජ්‍ය කාරියමඩිත්තේ ඤාණාරාම හිමියන් පැවැසූහ.

අලි මිනිස් ගැටුම හා පාරිසරික දේශපාලන අර්බුදය පිළිබඳව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය ආචාර්ය එන් එම් පෙරේරා කේන්ද්‍රයේ  පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පූජ්‍ය කාරියමඩිත්තේ ඤාණාරාම හිමියන් මේ බව පැවැසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය කාරියමඩිත්තේ ඤාණාරාම හිමියන් මෙසේ පැවැසූහ.

“පසුගිය ආණ්ඩු මෙන්ම වර්තමාන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ද 2048  ජාතික භෞතික සැලැස්මට අනුව රටේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති හරහා දැවැන්ත පරිසර හානියක් මෙන්ම ජාතික සම්පත් විදේශීයකරණයට ලක්කරමින් සිටියි.

සංවර්ධනය නාමයෙන් සිදුකරන මෙම ව්‍යාපෘති හරහා රටේ ජෛව පරිසර පද්ධතිය මෙන්ම මුහුද, ගුවන, භූමිය ද රටට අහිමි කරමින් ඇත. රටේ සමස්ථ භූමියම අවාරණය කරමින් සිදුකරන වරය නගර, අධිවේගි මාර්ග, නාවික, ගුවන්, බලශක්ති, ජලය කළමනාකරණ ආදී ව්‍යාපෘති පාරිසරික සම්පත් විනාශ කරමින් විදෙස් රටවලට, සමාගම්වලට විකිණීම දැනටමත් සිදු කරමින් ඇත.

සංවර්ධනය නාමයෙන් පසුගිය දශක පහක, හයක කාලය පුරා සිදු කල බොහෝ ව්‍යාපෘති හරහා  දැවැන්ත පරිසර විනාශයන් සිදු විය. මහවැලි සංවර්ධන ව්‍යාපෘති තුලින් රටේ ජනතාවට පමණක් නොව ඉන්දියාවට ද විදුලිය සැපයීමට යැයි සිදුකල වික්ටෝරියා, රණ්දෙණිගල – රන්ටැඹේ ජල විදුලි ව්‍යාපෘති ද උමා ඔය, රඹකැන් ඔය, ආදී ව්‍යාපෘති හරහා සිදු කල විනාශය තුලින් දැවැන්ත පරිසර හානියක් මෙන්ම එම ප්‍රදේශවල  ජිවත්වන ජනතාවට උන්හිටි තැන් ද අහිමි විය.

මේ මොහොත වනවිට ද ජාතික භෞතික සැලැස්මට අනුව මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන තොරතුරු ජනතාවට වසන් කරමින් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය 2024 වර්ෂයේ සිදුකර ඇති අලුත්ම අනාවරණයෙන් පැහැදිලි වේ.

දැනට සිදුකරමින් පවතින ව්‍යාපෘති 50 ක් ඒ සදහා විමසුමට ලක්කර ඇත. එහි ව්‍යාපෘති  21 ක් දේශීය ණය ආධාර යටතේ වන අතර වටිනාකම රු. බිලියන 241.9 කි. ව්‍යාපෘති 29 ක් විදේශීය ණය ආධාර යටතේ  සිදු කරන අතර එහි වටිනාකම රු. බිලියන 776.7 කි. ව්‍යාපෘතිවල සමස්ථ වටිනාකම ට්‍රිලියන 1.01 කි. ආණ්ඩුව මෙම ව්‍යාපෘතිවල ප්‍රසම්පාදන කටයුතු ජනතාවට වසන් කරමින් සිදු කරන මෙම වංචනික ක්‍රියාවලිය තුලින් රටේ සම්පත් විකිණීම මෙන්ම වංචා, දූෂණ ද වසන් කරමින් පවතින බව පැහැදිලි වෙයි.

රටේ පුරවැසියන් ලෙස පාලකයන් සංවර්ධනය නාමයෙන් සිදු කරන පරිසර විනාශයන්ට, ජාතික සම්පත් විකිණීමට මෙන්ම ඒ තුලින් සිදු කරන වංචා දූෂණයන්ට එරෙහි විය යුතුය. රටේ සම්පත් අනාගත පරම්පරාවන්ට රැක දීමට සවිඥ්ඥානිකව මැදිහත් විය යුතුය.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *