NEWS
‘පරිසරයත් ආර්ථිකයත් නොගැටී යන ගමනකට ප්‍රතිපත්තිමය වෙනසක් සිදුකර අවසන්’ – ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

‘පරිසරයත් ආර්ථිකයත් නොගැටී යන ගමනකට ප්‍රතිපත්තිමය වෙනසක් සිදුකර අවසන්’ – ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම්

‘මිහිකත’ – ජාතික ජන බලවේගයේ පරිසර ප්‍රතිපත්තිය අද (31) කොළඹ පදනම් ආයතනයේදී එළිදැක්විණි.
මේ සඳහා සහභාගි වූ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා මෙසේ පැවැසීය,

‘‘ලංකාව ලෝකයෙන්ම ප්‍රාථමික වනාන්තර විනාශ කරන රටවල් අතර හතරවෙනි ස්ථානයට පැමිණිලා තිබෙනවා. ලෝකයේ පස්වෙනි තැනට වැඩියෙන්ම ප්ලාස්ටික් පොලිතින් මහ පොළොවට එකතු කරන රටක් විදිහට ලංකාව අද වනවිට නම් කරලා තිබෙනවා.

ඒ වගේම ලංකාවේ වන ගහනය පිළිබඳව දැඩි ප්‍රශ්නයක් මේ වන විට රට තුළ මතුවෙලා තිබෙනවා.ලංකාවේ වනාන්තර ප්‍රතිශතය පිළිබඳව බරපතළ ගැටලුවක් තිබෙනවා.අද වනවිට ලංකාවේ වන ගහනය ප්‍රතිශතයක් ලෙස සියයට 16 ත් 20 ත් අතර ප්‍රමාණයක පවතින්නේ. ඒ අනුව වනාන්තර ප්‍රතිශතය වැඩි කිරීමේ වගකීම අප සතුව තිබෙනවා.

ඒවගේ අලි මිනිස් ගැටුම අද වන විට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. මේ සඳහා තිරසර විසඳුමක් ලබාදිය යුතුයි.
ඒ වගේම දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස අවම කිරීම පිළිබඳව ද අපි දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

ආර්ථිකය සහ පරිසරය කියන විෂයන් දෙකම එකට ගැටෙන විෂයන් දෙකක්. ආර්ථිකය සංවර්ධනය කරද්දී රටේ පරිසර සම්පත විනාශ වෙනවා. ආර්ථිකය සංවර්ධනය කරද්දී පරිසරය විනාශ වන බව පසුගිය කාලයේ සිටි පාලකයක් ප්‍රකාශ කළා.

ඒ වගේම, ශ්‍රී ලංකාවට සුවිශේෂී වූ පරිසර පද්ධතියක් තිබෙනවා. ඒ පරිසර පද්ධතිය ලෝකයේ කිසිදු රටක දකින්න ලැබෙන්නේ නෑ. ඒ පරිසර පද්ධතිය තමයි එල්ලංගා පරිසර පද්ධතිය. ඒ පරිසර පද්ධතිය මේ වනවිට ලෝක උරුමයක් බවට පත්කර තිබෙනවා. මෙවැනි සුවිශේෂී පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමට අපි අවධානය යොමු කළ යුතුයි.

ඒ වගේම ලංකාවට ආවේණික ශාක ආරක්ෂා කර ගැනීමටත් අපි දැඩි අවධානයක් යොමු කළ යුතුයි. ශ්‍රී ලංකාවෙන් විදේශ රටවල් වලට ශාක කොටස් රැගෙන ගොස් ඒ ජෛව නිෂ්පාදන භාවිතා කර වෙනත් රටවලින් පේටන්ට් බලපත්‍ර ලබාගෙන නිෂ්පාදන ගණනාවක් මේ වන විට ලෝකයේ සිදු කරල තිබෙනවා.ඒ පේටන්ට් බලපත්‍ර නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකියාවක් තිබෙනවද යන්න පිළිබඳවත් අපි අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

පරිසර සම්පත කියන්නේ ජීවිතයේ අපට දෙපාරක් නිර්මාණය කළ නොහැකි දෙයක්, ඒ නිසා පරිසර සම්පත ආරක්ෂා කරගැනීමට ජනතාව නිසි අවධානය යොමු කළ යුතුයි.‘‘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *