වරාය නගර ගැන ඩුබායි පාඩම
වරාය නගරයක් පිළිබඳ මෙයට පෙර අපසතුව අධ්‍යයනයක් හෝ අත්දැකීම් නැති නිසා 2003 දී ඩුබායි ෆාම් වරාය නගරය ඉදි කොට වසර දහයකට පසු එම පරිසර පද්ධතියට හා අවට ධීවරයන්ට සිදු වී ඇති බලපෑම මෙහි කෙටියෙන් සටහන් කිරීම යෝග්‍යයයි සිතමු.
ඩුබායි ෆාම් වරාය නගරය ඉදිකළ 2003 වසරේ සිට මේ වනවිට වසර 11ක කාලයක් ගතව ඇති අතර ඒ පිළිබඳ අධ්‍යයනයක නිරත වූ ලන්ඩන් හි ස්වාභාවික සම්පත් ෙකෟතුකාගාරයේ ආචාර්ය ඩේවිඩ් ජෝර්ජ් පවසන්නේ මෙම නගරය ඉදි කිරීමට පෙර හා පසු තත්ත්වයන් සලකා බලන විට එම මුහුදේ, මුහුදු පැලෑටි, ජීවීන් හා සමස්ත මුහුදු පරිසර පද්ධතියටම විශාල හානියක් සිදු වී ඇති බවයි.
ලංකාවේ ඉදි කිරීමට නියමිත මෙම වරාය නගරයට සමාන වන ඩුබායි රටේ වරාය නගරය ඉදි කිරීම වෙනුවෙන් කලූගල් කියුබ්ක් මීටර් මිලියන 5.5 ක් ගෙනවිත් මුහුදු පත්ලට දමා ඇති අතර, ගැඹුරු මුහුදේ හා වෙරළ තීරවලින් මෙම ව්‍යාපෘතියට ලබාගත් වැලි ප්‍රමාණය කියුබ්ක් මීටර් මිලියන 94 කි.
ලොව පුරාම මුහුදු පරිසර පද්ධතිය පිළිබඳ අධ්‍යයනයක් සිදුකරන ග්‍රීන්පීස් ආයතනයට අනුව මෙම වරාය නගරය ඉදි කිරීමේ දී සිදු වූ දැවැන්ත හානිය නිසා මුහුදු ජීවීන්ගේ වාසස්ථාන විශාල වශයෙන් විනාශ වීමේ ප්‍රතිඵලයක් ලෙස ආහාරයට ගන්නා මාලූ ඇතුළු අනෙක් ජීවීන් විශාල වශයෙන් විනාශ වූ අතර, එය ඩුබායි සමුද්‍ර පරිසර පද්ධතියට මෙන්ම ධීවරයන්ට විශාල බලපෑමක් එල්ල කර ඇත.
එක්සත් රාජධානියේ ‘ද ඉන්ඩිපෙන්ඩන්ට්‘ පුවත්පත කරන ලද විශ්ලේෂණාත්මක වාර්තාවකට අනුව ඩුබායි වරාය නගරය කොරල්පර හා මුහුදු පරිසර පද්ධතියට දැවැන්ත හානියක් අත්පත්කර දී ඇති අතර ධීවර ක්ෂේත්රයට සැලකිය යුතු බලපෑමක් එල්ලව ඇත.
නියමිත පරිසර ඇගයීමක් හෝ සොබාදහම පිළිබඳ අවබෝධයකින් තොරව කරන මෙවනි දැවැන්ත ව්‍යාපෘති ඩුබායි හි සමුද්‍ර පරිසර පද්ධතිය හා ධීවර ජනජීවිතය විනාශ කළාක් මෙන්ම ලංකාව තුළ ද එසේ වීමේ අනතුරක් ඇත.
නිසි පරිසර තක්සේරුවක් නොකර කරන චීන වරාය නගර ව්‍යාපෘතිය නිසා දැවැන්ත හානියක් බටහිර වෙරළ තීරයට හා මුහුදු කලාපයටත් කලපු පරිසර පද්ධතියටත් සිදුවනු ඇත. විශේෂයෙන්ම ඉදි කිරීම් සිදුකිරීමේ දී වෙරළ තීරයෙන් හා ගැඹුරු මුහුදේ වැලි කියුබ් මීටර් සියයක් පමණ ගතයුතු වේ. මෙලෙස විශාල වැලි තොගයක් ඇදීමේ දී වෙරළ තීරයේ ඛාදනය වඩා තීව්ර වන අතර පානදුර, අඟුලාන, ගල්කිස්ස, උස්වැටකෙයියාව, මීගමුව ඇතුළු බටහිර වෙරළ තීරයම මෙහි දී දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් වේ.
එමෙන්ම වැලි හෑරීමත්, නගරය ඉදි කිරීමෙන් අනතුරුව ගොල්ෆ් පිටිවලට යොදන විෂ රසායන හා නගරයේ වැසිකිළි, කැසිකිළි, හෝටල් අවට සහ අනෙක් අප ජලය මුහුදට මුදා හැරීමෙන් ජලයේ ඔක්සිජන් ප්‍රතිශතයේ සිදුවන වෙනස්කම් හා මුහුදු ජලයේ අප ජලය තැන්පත් වීම නිසා ජලය තුළ බැඳෙන පටල නිසාත් හිරුඑළිය හා මුහුදු පත්ල අතර සබඳතාවය බිඳ වැටේ. එහෙයින් මුහුදේ ආහාර නිෂ්පාදනය අඩාලවන අතර සියලූම ජීවීන්ගේ ගහණය අඩුවීමට එය බලපානු ලබයි.
එමෙන්ම මීගමු මුහුදු තීරයේ මොරවල ප්‍රදේශයේ හා අනෙක් තදාසන්න ප්‍රදේශවල ඇති කොරල්පර විනාශයටත් කොරල් මුහුදුබාවන්ගේ විනාශයටත් මෙය දරුණු ලෙස බලපානු ලබයි. වැලි හෑරීම සහ නැවත මුහුද ගොඩකිරීම නිසා ඇතිවන දියරැළිවල වෙනස්කම් නිසා මීගමුව වෙරළ තීරයෙන් හෝ තදාසන්න ප්‍රදේශවලින් වෙරළ තීරය රට අභ්‍යන්තරය ඛාදනය වීමට බොහෝ සේ ඉඩ ඇත.
මෙයට වසර කිහිපයකට පෙර වර්ග කිලෝ මීටර් 65,610ක්ව තිබූ දිවයින මේ වනවිට ඛාදනය නිසා වර්ග කිලෝ මීටර් 59,525 දක්වා අඩු වී තිබේ. වෙරළේ සිදුවන ස්වභාවික ඛාදනය වඩා තීව්ර කිරීමට මුහුද ගොඩකිරීමට හේතුවන අතර මුතුරාජවෙල අහය භූමිය, මීගමු කළපුව, මහවැව කළපුව, හලාවත කළපුව, ආනවිලුන්දාව කළපුව ඇතුළු බටහිර වෙරළ තීරයේ කළපු පද්ධතිය විනාශ වී යාමත් එහි ඇති මත්ස්‍ය විශේෂ විනාශය, කඩොලාන ශාඛ වර්ග විනාශය මෙම වරාය නගරය ඉදිකිරීම නිසා වඩාත් තීව්ර වේ.
දැනට සමුද්‍ර ජීවීන් පිළිබඳ අධ්‍යයනයන් කරන විද්‍යාඥයන් පවසන්නේ ඉන්දියන් සාගරය ඇතුළු සාගර ප්‍රදේශවල මුහුදු ජීවීන් හා ශාඛ 32,000 පමණ වාර්තාවන බවයි. එම විශේෂ 32,000 සැලකිය යුතු ප්‍රමාණයක් ලංකාව අවට මුහුදු තීරයේ වාසය කරති.
ඒ අතර මුහුදු ඌරන් කැස්බෑ විශේෂ වන කොළ කැස්බෑවා, දාර කැස්බෑවා, ඔලූ ගෙඩි කැස්බෑවා, නෙතු කැස්බෑවා, බටු කැස්බෑවා යන සත්ව විශේෂ ද, හෙක්ටයාර් 126,989 වන කළපු පද්ධතියෙන් සැලකිය යුතු ප්‍රමාණයක්, මුහුදු තෘණ භූමි වශයෙන් හඳුනාගෙන ඇති හෙක්ටයාර 23,797 ප්‍රමාණයෙන් හෙක්ටයාර 11,000 අයත් මුහුදු තෘණ භූමිය කඩොලාන හෙක්ටයාර 528කට වැඩි ප්‍රමාණයක්. වෙරළ බාධක පර ලෙස පිහිටා ඇති හෙක්ටයාර 956 ක්, ඩොල්පින් මසුන්, තල්මසුන් ඇතුළු හඳුනාගගත් හා නොගත් සමුද්‍ර සත්ව හා ශාක විශේෂවලටත් එම භූමිවලටත් දැවැන්ත හානියක් මෙම වරාය නගරය නිසා සිදු වේ.
එමෙන්ම දෙදහස් දෙක වනවිට බටහිර වෙරළ තීරයේ ඇතුළු වෙරළ තීරයේ ගැඹුරු මුහුදූ ධීවරයින් හැර 114,230 වූ ධීවර සංඛ්‍යාව මේ වනවිට වඩා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ඔවුන් සියලූදෙනාගේ ජීවිකාව මුහුදේ ජෛව විවිධත්වය නිසා රැකෙන්නකි.
ඒ අනුව චීන වරාය නගරය ඉදි කිරීම නිසා දැවැන්ත පාරිසරික හානියක් බටහිර වෙරළ තීරයේ හා මුහුදේ සිදුවන අතර විශාල මත්ස්‍ය නිෂ්පාදනයක් මෙන්ම අගනා පරිසර පද්ධති ගණනාවක් මෙරටට අහිමි වේ.
ඒ සියල්ල සමගම මුහුද ජීවිකාව කරගත් ධීවරයින් විශාල ප්‍රමාණයකට දරුණු ප්‍රතිඵල අත්විඳින්නට සිදුවන අතර මෙම සංවර්ධනය මගින් අනාථයින් බිහිවීම වැළැක්විය නොහැකිය