විල්පත්තුවෙන් හමන ජාතිවාදී සුළඟ නවතමු

මඩු රක්ෂිතය හා විල්පත්තු උතුරු අභය භූමියට ආසන්නව පිහිටා ඇති කල්ලාරු වනාන්තරයේ මාර්ග ඉදිකිරීම හා නැවත පදිංචි කිරීම වෙනුවෙන් යැයි කියා වනාන්තර විනාශ කිරීම මහින්ද රාජපක්ෂ යුගයේ ආරම්භ වූ අතර එය මෛත්‍රීපාල සිරිසේන යහ පාලන යුගයේත් එසේම සිදුවෙමින් පැවැතීම කනගාටුවට කරුණකි. එය පමණක් නොව රජයේ ඉදිරි සංවර්ධන සැලසුම්වලදී මෙරට වනාන්තර 39 ක් මෙලෙසම විනාශ වීමට අවශ්‍ය ඉඩකඩ ජාතික භෞතික සැලැස්ම හරහා මේ වන විට ක්‍රියාවට නංවමින් සිටී.
විල්පත්තුව හා මඩු රක්ෂිතයත් කල්ලාරු වනාන්තරයත් විනාශ වීම කෙරෙහි රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා මෙන්ම පැවැති හා පවතින ආණ්ඩුව ද සෘජුව වගකිව යුතුය.
නැවත පදිංචි කිරීම සඳහා ඉඩම් නිදහස් කිරීම වෙනුවෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර නිකුත් කර ඇත්තේ පෙරියමඩු අභය භූමියෙන් බැහැරව භූමි භාගයක් නිදහස් කිරීම වෙනුවෙන් පමණි.
නමුත් මඩු රක්ෂිතයේ කොටසක් ද මේ සමඟ විනාශ කිරීමට මෙම ඉඩම් අත්පත් කරගත් දේශපාලකයන් සිදුකරනු ලබන අතර කල්ලාරු වනාන්තරය මෙන්ම උතුරේ යුද්ධයෙන් පසුව සිදුවන දැවැන්ත වන සංහාරය මේ වන විට සිදුවෙමින් පවතී.
එය කවුරුන් විසින් සිදුකළද බරපතළ වැරැද්දක් බව අප සැම අවිවාදයෙන් පිළිගත යුතුය. එම වැරැද්දම තව තවත් තීව්‍ර කරමින් වවුනියාව හා මුලතිව් යන දිස්ත්‍රික්කවල වනාන්තර අක්කර 16000 කට අධික ප්‍රමාණයක් මේ වන විට විනාශ කර දමා ඇත. මඩු රක්ෂිතය හා විල්පත්තු උතුරු අභය භූමියේ කල්ලාරු වනාන්තරය විනාශ කිරීම වෙනුවෙන් මෙවර සෘජු දායකත්වයක් දැරුවේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාය. අපට ප්‍රශ්නය ඇත්තේ ඔහු මුස්ලිම් වීම නිසා නොව සිංහල දමිළ මුස්ලිම් වේවා පරිසරය වනසන්නේ නම් ජාති, ආගම් භේදයකින් තොරව අප එයට විරුද්ධ විය යුතුය. එම සංහාරයට විරුද්ධ වනවා සේම මෙම ව්‍යාපෘතිවල මූලිකත්වය ගෙන සිටින රටේ නායකයන් පාලකයන්ට සුදු හුණු ගාමින් එක් පුද්ගලයකුට පමණක් ජාතිවාදී බැටන් පොල්ලෙන් තඩි බෑම නොකළ යුතු කරුණකි.
රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා මෙම රජයේ අමාත්‍යවරයෙක්. රටේ නායකයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා නොදැන වනාන්තර එළිකිරීමට බදියුදීන් අමාත්‍යවරයාට හැකියාවක් තිබේද?
මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කරන සමයේත් මෛත්‍රීපාල ආණ්ඩුව කරන මේ සමයේත් සිදුවන්නේ දේශපාලන අතපෙවීම් මත සිදුවන දැවැන්ත පරිසර විනාශයයි. රජය විසින් දැනට සකස් කර ඇති ජාතික භෞතික සැලැසුම අනුව 2032 වන විට විල්පත්තුව, මඩු රක්ෂිතය ඇතුළු වනාන්තර 39 ක සැලකිය යුතු ප්‍රමාණයක් රජයේ සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් හෙළිකිරීම මේ වන විට ආරම්භ කර ඇත.
විල්පත්තුව මඩු රක්ෂිතය ආශ්‍රිතව අධිවේගී මාර්ග ඉදිකිරීම හා සංචාරක ව්‍යාපෘති දියත් කිරීම රජයේ ඉදිරි සැලසුමයි. එම සැලසුම දියත් කිරීම වෙනුවෙන් අතකොලු බවට පත්කර ගන්නේ මුස්ලිම්, දමිළ සහ සිංහල ජනතාවයි. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවට විල්පත්තු හා මඩු රක්ෂිත තුළ ඉඩම් ලබාදීම තුළින් රජයේ පූර්ණ සැලසුම දකිනවා වෙනුවට මුස්ලිම් විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීම තෙක් මෙම ප්‍රශ්නය කුරුවල් වීමට ඉඩහැර ඇත. පරිසරවේදීන්ට හෝ මේ රටේ බහුතර ජනතාවට එය පෙනෙන්නේ මුස්ලිම් මිනිසුන්ගේ ප්‍රශ්නයක් නිසා මඩු රක්ෂිතය හා විල්පත්තුව විනාශ වීම සිදුවන්නේ යැයි යන අවසාන අදහසයි. රටේ බහුතර ජනතාව මඩු රක්ෂිතය ඉදිකිරීමට විරුද්ධ වන්නේ මෙම සමස්ත සැලසුම හා ක්‍රියාවලිය පිළිබඳව අබමල් රේණුවකවත් අවබෝධයක් නොමැතිවය.
පැවැති ආණ්ඩුව හා පවතින ආණ්ඩුව එය මනා ලෙස භාවිතා කරමින් ස්වභාවික සම්පත් විනාශ කිරීමට එරෙහි ආණ්ඩුවලට එන විරෝධය කලකදී දමිළ ජනතාව පිටිනුත් දැන් දැන් මුස්ලිම් ජනතාව පිටිනුත් යවා එය ජාතිවාදී ගැටලුවක් බවට පරිවර්තනය වීමට ඉඩහරින තරමට රෙට් වන සම්පත් මෙන්ම ස්වභාවික සම්පත් විනාශ කරමින් ජාත්‍යන්තර සැලැසුමක් වන ජාතික භෞතික සැලැස්ම ඉදිරියට වඩා පහසුවෙන් කරගෙන යා හැකි වඩා වේගවත් ප්‍රවාහයක් සකසා ගනිමින් සිටී. අනෙක් අතට බහුතරයක් මිනිසුන් මඩු රක්ෂිතය හා විල්පත්තුවට විරුද්ධ වූයේත් විරුද්ධ වන්නේත් පරිසරය රැකගැනීමේ පරම අදහසින් නොවන බව වඩා පැහැදිලිය. ඇතැමුන් මෙය මුස්ලිම් ජනතාවට පහරදීමට අවස්ථාවක් කරගෙන ඇත.
මෙයට පෙර විල්පත්තු වනෝද්‍යානය භාවිතා කරමින් ඝන කැලෑව විනාශ කර හමුදාව විසින් පාරක් ඉදිකරන විට විරෝධය හෝ හඬක් නොනැඟූ අයවලුන් මෙම ප්‍රශ්නය හමුවේ පමණක් පෙනී සිටින්නේ මන්ද යන්න ප්‍රශ්නයකි. එමෙන්ම සිංහරාජය ඇතුළු වනාන්තර 39 ක් විනාශ කරමින් සිටින මොහොතක ඒවාට එරෙහිව හඬ නොනඟන්නේ මන්ද යන්න ද ප්‍රශ්නයකි. 2011 සිට 2014 වන විට වනාන්තර ලක්ෂ ගණනක් විදේශිකයින්ට ලබාදීම හමුවේ මුනිවත රැක්කවුන් මෙම ප්‍රශ්නයට පමණක් ජාතිවාදීන් ලෙස මැදිහත් වීමෙන් මෙරට පරිසර ප්‍රශ්නය විසඳිය හැකිද? ජෛව විවිධත්වය තුළින් පරිසරය පොහොසත් කරන බව අප කාටත් කියා දිය යුතු නැත. නමුත් එය හොඳටම දන්නා මිනිසුන් පවා සමාජයේ විවිධත්වයට පහර එල්ල කරති.
එක් සත්ත්ව කොට්ඨාසයකින් හෝ ශාක විශේෂයකින් පරිසර තුලනය කළ නොහැකි සේම එක් ජනවර්ගයකින් සමාජය තුලනය කළ නොහැක. එමනිසා ජෛව විවිධත්වය පිළිගන්නේ නම් එය ආරක්ෂා විය යුතු බව අදහන්නේ නම් සමාජයේ ජනවර්ගවල විවිධත්වය ද පිළිගත යුතුය. ජනවර්ග විවිධත්වය නිසා ඔවුනොවුන් අරගල කර ගැනීමෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම හෝ පරිසර විනාශය වැළැක්වීම කළ නොහැකිය. එමනිසා අප විරුද්ධ විය යුත්තේ අප අසල සිටින මුස්ලිම්, දමිළ හෝ අනෙකුත් ජනයාට එරෙහිව නොවේ. එසේ එරෙහි වීමෙන් සිදුවන්නේ පරිසරය නසන සංහාරකයා අප සියල්ලම විනාශ කරමින් රටේ පරිසර සම්පතත් විනාශ කිරීමය.
සැබෑ පරිසර සංහාරකයින් විල්පත්තුව මඩු රක්ෂිතය කල්ලාරු වනාන්තරය ඇතුළු වනය නසමින් ලංකාවේ වනාන්තර ප්‍රතිශතය 16.8% තෙක් අඩු කිරීමට සමත් වී ඇති අතර එයට එරෙහි නොවීම තුළ මෙම තත්ත්වය උඩු දුවමින් පවතී. එමෙන්ම නියම ප්‍රශ්නය ඉලක්කර කර නොගනිමින් ජාතීන් ලෙස බෙදා වෙන්වූ තරමට ජාත්‍යන්තර සැලසුම් වඩා හොඳින් දියත් කිරීමට නායකයන්ට, පාලකයන්ට අවස්ථාව ලැබෙනු ඇත.
රවීන්ද්‍ර කාරියවසම්