පරිසරය රකින දේශපාලන දර්ශනයක් අවශ්‍යයි
2011 – 2030 ජාතික භෞතික සැලැස්මේ දී ලංකාවේ; ආර්ථික මධ්‍යස්ථානයක්, ගුවන් මධ්‍යස්ථානයක්, නාවික මධ්‍යස්ථානයක්, බලශක්ති මධ්‍යස්ථානයක් සහ අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත්කිරිම සඳහා මේ වන විට සැලසුම් කොට ඇත. මෙය අද ඊයේ බිහිවූවක් නොව 1992 වසරේ ‘‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’’ යන මැයෙන් ක‍්‍රියාත්මක වූ වැඩසටහනේ ම දිගුවකි. ‘‘2011 – 2030 ජාතික භෞතික සැලැස්ම’’ යනුවෙන් නම් කොට ඇති මෙය, නම පමණක් වෙනස් වුව ද ක‍්‍රියාත්මක වන්නේ එම සැලැස්ම ම ය. ලංකාව ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ දී දැනට කොට්ටාව පින්නදුව අධිවේගී මාර්ගය අම්පාර දක්වාත් ඉන් ඔබ්බට ත‍්‍රීකුණාමලය, වව්නියාව, යාපනය හරහා මන්නාරමටත් කොට්ටාව අධිවේගි මාර්ගය නුවර දෙසට දීර්ඝ කිරීමට සැලසුම් කොට ඇති අතර එය නැවතත් කුරුණැගල සිට මන්නාරම දක්වා දිවෙනු ඇත. එහි අවසන් ප‍්‍රතිඵලය ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය කිලෝ මීටර් 11,462 දක්වා දීර්ඝ කිරිම ය.
මෙම අධිවේ ගිමාර්ග ඉදිකෙරෙනුයේ වැලි සහ පස් ගොඩ කිරිමෙනි. අධිවේගි මාර්ගයේ කිලෝ මීටර් 01 ක් සඳහා දළ වශයෙන් පස් ඝන මීටර් 24. 000 ක් අවශ්‍ය කෙරේ. එනම් කිලෝ මීටර් 11, 697 ක මාර්ග පද්ධතියක් නිම කිරීම සඳහා පස්/ ගල් ඝන මීටර් 280,728,000 ක් අවශ්‍යය වේ. මෙම පස් සහ ගල් ප‍්‍රමාණය ලබාගැනීම සඳහා විශාල ගල් පර්වත සහ ගල් කැපිමට සිදුවේ. එහි දි සිදුවන පරිසර හානිය කෙතරම් දැයි අනුමාන කළ හැකිය.
මීට අමතර ව මෙම සැලසුමේ ම තවත් කොටසක් ලෙස ලංකාවේ දැනට පවතින ගුවන්තොටුපළ ප‍්‍රමාණය 19 ක් දක්වා වර්ධනය කිරිමට සැලසුම් කොට ඇත. මෙහි දී සැලකිල්ලට ගත යුත්තේ මහා මාර්ග පද්ධතියක් සහ ගුවන් තොටුපළවල් ඉදිකිරීමේ දී අවතැන් වන ජනතාව මෙගා සිටි එසේත් නැත්නම් මහා නගර කලාපයට ගොනු කිරිමට මේ වන විට සැලසුම් කොට තිබීම ය. ගම්පහ, කළුතර, කොළඹ එක් මහා නාගරික කලාපයක් ලෙස ස්ථාපිත කෙරෙන අතර මාතර ගාල්ල, හම්බන්තොට එක් මහා නගර කලාපයක්, මඩකලපුව, ත‍්‍රීකුණාමලය එක් මහා නාගරික කලාපයක්, පොළොන්නරුව, දඹුල්ල සහ අනුරාධපුරය මහා නාගරික කලාප බවට පත්කිරිමට සැලසුම් කොට ඇත.
විශේෂයෙන් ම කොළඹ මහා නාගරික කලාපය 2030 වන විට මිලියන 3.5 ක් පදිංචි කිරිමට නියමිත අතර: ගාල්ල මහා නාගරික කලාපය මිලියනයක්, හම්බන්තොට මහා නාගරික කලාපය මිලියනයක්, නැගෙනහිර මහා නාගරික කලාපය මිලියනයක්, අනුරාධපුර, දඹුල්ල සහ පොළොන්නරුව කේන්‍ද්‍ර කොට ගෙන මිලියන 04 ක් සහ යාපනය මිලියනයක් පදිංචි කිරිම සඳහා මේ වන විට සැලසුම්කොට ඇත.
එමෙන් ම කිලෝ මීටර් 11,462 දක්වා වර්ධනය වන මෙම අධිවේගි මාර්ග ජාලය මන්නාරමෙන් ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා සම්බන්ධ කොට ඉන්දියාවෙන් පකිස්ථානයට සහ ජපානය දක්වා දිවෙන බව මෙම 2011 – 2030 ජාතික භෞතික සැලැස්මේ සඳහන් ව ඇත. මෙම අධිවේගි මාර්ග ජාලය ඉන්දියාවට සම්බන්ධ කිරිමට බලාපොරොත්තු වන්නේ ‘‘ආදම්ගේ පාලම’’ නමැති ස්වභාවික නිර්මාණයක් වූ වැලි වැටිය හරහා ය.
එමෙන් ම මෙම සැලසුමේ දී දැනට පවතින ධීවර වරායවල් 16 ධීවර වරායවල් 40 ක් දක්වා වර්ධනය කිරිමට බලාපොරොත්තු වන අතර දැනට තිබෙන ධීවර යාත‍්‍රා 23,211 ක ප‍්‍රමාණය 40 දහසක් දක්වා වර්ධනය කිරිමට බලාපොරොත්තු වේ. මීට අමතර ව ලංකාව සංචාරක කලාපයක් ලෙස දියුණු කිරීමේ කටයුතු මේ වන විට සැලසුම් කරමින් පවතී. මෙයට මුහුදු කලාප පදනම් කර ගත් සංචාරක කලාප, වනාන්තර පදනම් කරගත් සංචාරක කලාප, පුරා විදශාත්මක වටිනාකම්න් යුත් සංචාරක කලාප නිර්මාණය කිරිම සඳහා විශාල හෝටල් පද්ධතියක් ද නිර්මාණය වෙමින් පවතී. මෙම සංචාරක කලාප සංවර්ධනය කිරිමත් සමග ම බිබිල ප‍්‍රදේශයේ (හර්බල් ටුවරිසම්) ඖෂධ පදනම් කරගත් සංචාරක කලාපයක් නිර්මාණය කිරිමට ද සැලසුම් කොට ඇත.
මේ වන විට මත්තල ගුවන් තොටුපළ විවෘතව ඇත. ස්වභාව ධර්මය ජයගත්තා යැයි උදම් ඇනුව ද මේ වන විට මත්තල ගුවන් තොටුපළ හේතුවෙන් විශාල පාරිසරක ගැටලූ ප‍්‍රමාණයකට මුහුණ පා ඇත. එමෙන් ම නුවරඑළියේ ගුවන් තොටුපළ සඳහා මුල්ගල් තබා ඇති අතර නුවර, හිගුරක්ගොඩ, මොනරාගල, ද ගුවන් තොටුපළවල් නිර්මාණය කිරිමට සැලසුම් කොට ඇත. මිට අමතර ව ලංකාවේ සැම පළාතක ම පාහේ තැන්පත් ව තිබෙන ඛනිජ සම්පත් සියල්ල ද ගොඩගැනීමට අදහස් කෙරේ. මේ සැලසුම් සියල්ල ම සමග එළවළු, පලතුරු, උක්, කජු වැනි වාණිජ බෝග වගාවන් සඳහා: ලංකාවේ බිම් කොටස් බහුජාතික සමාගම් වෙත පැවරිමට තීරණය කොට ඇත. අනුරාධපුර, වව්නියාව, කුරුණෑගල, මැදවච්චිය ආදි ප‍්‍රදේශවලින් මෙම ඉඩම් කොටස් ලබා දීමට මේ වන විට තීන්දු තීරණ ගෙන හමාර ය. 2011 වසර වන විට වන ජීවි සංරක්‍ෂිත කලාපවලට අයත් අක්කර 65,525 ක් දී ඇත.
මේ සියල්ල තුළින් ලංකාවේ පරිසරයට කුමක් සිදුවේ ද?
1992 දි ගිවිසුම් අත්සන් කළ ද මෙය ක‍්‍රියාත්මක වීම ඇරඹියේ ඉන්දියාව සහ චිනය සහ රටවල් 36 සමග 2005 ජුනි 04 වන දා ය. මෙය සැලසුමක් මතු නොව අනිවාර්යයෙන් ක‍්‍රියාත්මක කළ යුතු බවට මෙම රටවල් සියල්ල එකගතාවකට එළඹියේ ය. මේ වන විට ඒ ඒ රටවල්වල ආධාර මත ජාතික භෞතික සැලැස්ම ක‍්‍රියාත්මක කිරිම අරඹා ඇත.
ලංකාවේ ගුවන්තොටුපළවල් ප‍්‍රමාණය 19 දක්වා ඉහළ නැංවීමේ දී අධික සංවේදී කලාප පවා මෙයට ගොදුරු වේ. උදාහරණයක් ලෙස ගතහොත්: ඉන්දියාවේ සහ වෙනත් රටවල්වල සිට ලංකාවට පක්‍ෂීන් විශේෂ 200 ක් පමණ පැමිණෙති. ඒ අතරින් ලක්‍ෂ ගණනක පක්‍ෂි ප‍්‍රමාණයක් පළමුව හලාවත ප‍්‍රදේශයේ පිහිටි ආනවිලූන්දාවට පැමිණෙති. අනතුරුව දකුණු ප‍්‍රදේශයට ව්‍යාප්තව යති. එම ව්‍යාප්තිවීම සිදුවන්නේ වීරවිල සහ මත්තල ප‍්‍රදේශයට ය. වර්තමානයේ මත්තල ගුවන් තොටුපළෙහි ගුවන් යානා ගොඩබැස්සවීම පිළිබඳ විශාල ගැටලූවක් පැන නැගි ඇත්තේ මෙය හේතුවෙනි. මන් ද, පක්‍ෂීන් රංචු පිටින් පියාඹා යාමේදී ගුවන්යානාවේ වැදීම හේතුවෙනි. මෙහි දී ගුවන් යානයේ තටුවල පක්‍ෂීන් ඝට්ඨනය වුවොත් යානය පාලනය කිරිමට නොහැකි විම හෝ ගිනි ගැනීම අනිවාර්ය ය. මෙය වළක්වාගැනීම සඳහා ගුවන් තොටුපළ බලධාරීන් ගෙන ඇති පියවර නම්, ගුවන් යානා බැස්සවීමේ දී පක්‍ෂීන් පැමිණියහොත් එම පක්‍ෂීන්ට වෙඩි තැබීමට පියවර ගැනීම ය.
එමෙන් ම මොනරාගල ප‍්‍රදේශයේ ගුවන් තොටුපළ ඉදිකිරීමේ දී. එම ප‍්‍රදේශයේ පරිසරයට ද විශාල බලපෑමක් එල්ල වේ. හිගුරක්ගොඩ ගුවන් තොටුපළ ඉදිකිරීමේ දී ද එම ප‍්‍රදේශයේ පිහිටා ඇති දැනට වගා කටයුතු කෙරෙන කුඹුරු විශාල ප‍්‍රමාණයක් විනාශ වන අතර මහනුවර ප‍්‍රදෙශ් ද මීට වඩා දරුණු තත්ත්වයක් උද්ගත වේ. මහනුවර ප‍්‍රදේශය යනු ගුවන් තොටුපළක් ඉදිකිරීමට සුදුසු පියවරක් නොවේ. එයට හේතුව නම් 1970 දි සප්තකන්‍යා කඳු වැටියේ ගැටුණු ගුවන්යානය එම අනතුරට ලක්වූයේ අධික මීදුම හේතුවෙනි. ලෝකයේ කිසිම රටක එවැනි සංවේදී මෙන් ම මීදුම බහුල ප‍්‍රදේශවල ගුවන් තොටුපළවල් ඉදි නො කෙරේ. එය ප‍්‍රතිපත්තිම ය කරුණකි. එහි දී මගින්ගේ සහ ගුවන් නියමුවන්ගේ ජීවිත දැඩි අනතුරකට ලක් වේ.
2030 වසර වන විට ලංකාව අධ්‍යාපන මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ දී එහි මුලික අරමුණ වන්නේ අධ්‍යාපනය අළෙවි කිරීම ය. විශේෂයෙන් ම ඉන්දියාව සහ චීනය යන රටවල්වලට අධ්‍යාපනය අළෙවි වන අතර ලක්බිමේ පය ගසා සිටින කුඩා දරුවන්ට ද අධ්‍යාපනය ලබාගැනීමට සිදුවන්නේ මුදල් ගෙවීමෙන් අනතුරුව ය. එහෙත් මේ ලක්බිමේ වෙසෙන ඔබ අප කිසිවෙකුට අධ්‍යාපනය මුදලට ලබාගත හැකි ද? ලංකාව වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ දී පෙර පැවති ආණ්ඩු, දැනට පවතින ආණ්ඩුව බලාපොරොත්තු වූයේ සහ ඉදිරියට පත්වෙන ආණ්ඩුව වුව ද බලාපොරොත්තු වන්නේ සියලූ ම ස්වාභාවික සම්පත් විකිණීම සහ ලාබ උපයාගැනීම සදහා පමණක් යෙදවීමට ය.
ඔවුන් ලංකාව වාණිජ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ දී සොබා දහම පිළිබද, එහි වෙසෙන මානවයා මතු නොව සතා සිවුපාවා, ගහ කොළ ගැන පවා නොසිතන තත්ත්වයක සිටිති.
මෙම ජාතික භෞතික සැලැස්මේ දී ලංකාව බලශක්ති මධ්‍යස්ථානයක් බවට පත්කිරිමට බලාපොරොත්තු වන බව කලින් ස`දහන් කළෙමි. මේ වන විට නොරොච්චෝල ප‍්‍රදේශයේ තාප බලාගාරයක් ඉදි කොට ඇත. එය මේ වන විට කි‍්‍රයාත්මකව පැවතියේ දින සියයකට ආසන්න ප‍්‍රමාණයක් පමණි. එය මෙරටට ඔරොත්තු නොදෙන, මෙහි ක‍්‍රියාත්මක කළ නොහැකි බලාගාරයක් බවට මේ වන විට පත්ව ඇත. ඒ ව්‍යසනය හෝ මායිම් නොකර ඔවුන් තව තාප බලාගාර දෙකක් නොරොච්චෝලේ ද, සාම්පූර්හි තවත් තාප බලාගාරයක් ද, ඉඳුරුවේ තවත් තාප බලාගාරයක් ද ස්ථාපිත කිරිමට මේ වන විට කටයුතු යොදා ඇත. තාප බලාගාරවලින් උත්පාදනය කරනු ලබන විදුලිය ලංකාවේ විදුලිය පද්ධතියට එක් කිරීමේ දී එය ද නොසෑහෙන බව පවසමින් න්‍යෂ්ටික බලාගාර ඉදිකිරීමට ද යෝජනා වී ඇති බව එවකට විදුලිබල ඇමති ව සිටි චම්පික රණවක මහතා පවසා තිබුණි.
මෙහි දි විශේෂයෙන් අවධානය යොමු කළ යුත්තේ ඉන්දියාවේ කූඩප්පලම් නමැති න්‍යෂ්ටික බලාගාරය වෙත ය. එහි දී විශාල ගැටලූ පැන නැගුණි. එයට හේතු වූයේ: ඒ ප‍්‍රදේශයේ ජිවත්වෙන ජනතාවට මෙන් ම සතා සිවුපාවන්ට ද විශාල හානියක් සිදුවන බැවිනි. එසේ වීමට හේතු වන්නේ මෙම තාප බලාගාර සහ න්‍යෂ්ටික බලාගාර සම`ග විකිරිණ කාන්දුවීම් සිදුවිය හැකි බැවිනි. කාන්දු වීමට නියමිත විකිරණ නම්: සිතියම්, පෙරියේරියම් සහ කාබන් මොනොක්සයිඞ් ය. එම විකිරණ මගින් පිළිකා සහ වකුගඩු රෝග වැනි දැ ව්‍යාප්ත වීමේ ප‍්‍රතිශතය ඉහළ මට්ටමක පවතී. එමෙන් ම ආබාධිත දරු උපත් සිදුවීමට ඇති ඉඩකඩ ද ඉහළ මට්ටමක පවතී. එය හිතළුවක් නොවන බව මෙහි දි විශේෂයෙන් අවධාරණය කළ යුතු ය. ත‍්‍රී මයිල්ස් අයිලන්ඞ්වල සහ පුබුෂ්පාවල සිදු වු තාප බලාගාර සහ න්‍යෂ්ටික බලාගාරවල පිපිරීම් සමග මෙන් ම ලෝකයේ සිදු වූ මෙවැනි පිපිරීම් සමග මෙය සස`දා බැලිය යුතු ය.
මෙහි බරපතලකම කෙතරම් ද යත් ජර්මනිය මේ වන විට තම රටෙහි පිහිටුවා ඇති 200 කට අධික සියලූ ම න්‍යෂ්ටික සහ තාප බලාගාර 2020 වන විට ඉවත් කිරිමට කටයුතු යොදා ඇත. එසේ නම් එවැනි රටවල්වලින් ඉවත් කරන න්‍යෂ්ටික සහ තාප බලාගාර මේ රටවල්වල ස්ථාපිත කරන්නේ මන්ද? එයට හේතුව වන්නේ මේ වන විට යුරේනියම් වෙළෙදාම යනු ලෝකයේ දැවැන්ත වෙළෙද ව්‍යාපාරයකි. එමෙන් ම න්‍යෂ්ටික බලාගාර සමග ම හොදින් ඉගෙනගත් ඉංජිනේරුවරු දහස් ගණනක් සිටිති. මෙම න්‍යෂ්ටික බලාගාර ඉවත් කිරීමේ දි ඔවුන්ගේ රැකියාවල්වලට සිදු වන බලපෑම සහ යුරෝපීය රටවල්වලට යුරේනියම් හිගතාවක් ද පවතිනු ඇත. එනිසා ලංකාව වැනි රටවල්වල මෙම න්‍යෂ්ටික සහ තාප බලාගාර ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් දියත් කොට ඇත.
අද වන විට ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වන්නේ ලෝකයේ තිබෙන දරුණුතම විදුලි නිෂ්පාදන ක‍්‍රමයන් බව වගකීමකින් යුතුව පවසමි. ලංකාව සෞම්‍ය කලාපීය රටකි. ලංකාවට ඉර එළිය පතිත වීම සදහා ගතවන කාලය තත්පර 14 කි. එබදු භූමියක් මත සූර්්‍ය බලශක්තියෙන් විදුලිය ලබාගැනීමේ හැකියාව ඉතා ඉහළ ය. එමෙන් ම සුළං බලය යොාගැනීමේ හැකියාව ද ඉහළ මට්ටමක පවතී. මෙම ශක්තීන් නැවත නැවතත් උත්පාදනය කළ හැකි ශක්තින් බව ද අවධාරණය කළ යුතු ය. මෙවැනි හැකියාවක් අප භූමිය සතුව පවතිද්දි අප රටේ මෙතෙක් බිහි වූ පාලකයින් කළා සේ ම වත්මන් පාලකයින් ද රටට අහිතකර බලපැම් සිදුවන ක‍්‍රියාවන්හි නිරත වෙමින් සිටිති.
මෙම ජාතික භෞතික සැලැස්ම තුළින් ජාතික වන සහ වනජීවි රක්‍ෂිත ප‍්‍රදේශ මතු නොව අවශේෂ කැලෑ ප‍්‍රදේශ 39 ක් දැඩි අවදානමකට ලක් ව ඇත. මෙය හේතුකොට ගෙන ලංකාවේ විශේෂිත වනාන්තර කලාපයක් වන සිංහරාජය දෙකඩ වීමේ දැවැන්ත අවදානමක් ද පවතී. මෙම වනාන්තරය මීට වසර මිලියන 14 කට පෙර සිට පැවති වනාන්තරයක් ලෙස නම් කොට ඇත. මෙය විනාශවීමේ පළමු පියවර ඉහත සදහන් කළ ජාතික භෞතික සැලැස්මේ ප‍්‍රතිඵලයක් ලෙස හැදින්විය හැකි ය. එමෙන් ම උඩවලව ජාතික වනෝද්‍යානය, වැටහිර කන්ද, ලූනුගම්වෙහෙර, මදුනාගල, වීරවිල, නිමලව කන්ද, බුන්දල, උස්සන්ගොඩ, කතරගම, කටගමුව, රුහුණු යාල, සාගම, බුන්දන්ගල,, අල්පස්ස, එගොඩයාය, මහකනදරාව, අනුරාධපුර, මිහින්තලේ, රිටිගල, පහල්ල, පල්ලෙකැලේ, සීගිරිය, මින්නේරිය, ගිරිතලේ, ඇළහැර, බකමූණ, කවුඩුල්ල, සෝමාවතිය, නෙවල් හේඞ්වර්ක්, චෙන්ඩිකුලම්, විල්පත්තු, යෝධ වැව, චෙන්කලාඩි, මඩු රක්‍ෂිතය, මුතුරාජවෙල, කලමැටිය, පෙරියකච්චි යන වනාන්තර විනාශ වීමේ අවදානමක් පවතී. මෙම වනාන්තර විනාශ වීමත් සමග ම ලංකාවේ පස, ජලය, වනසතුන් මතු නොව මිනිසුන් ද විශාල විනාශයක් කරා තල්ලූ වීමේ අවදානමක් ද ඇත.
1881 වන විට ලංකාවේ ජනගහන වර්ධනය සියයට 2.4 කි. ඒ වන විට පැවති වනාන්තර ප‍්‍රමාණය සියයට 82 කි. 1881 සිට 2007 වන විට ජනගහනය වර්ධනය සියයට 19.4 කි. වනගහනය සියයට 17 ක් දක්වා අඩු වී ඇත. 2007 වසරේ සිට 2011 වසර වන විට ජනගහනය වර්ධනය සියයට 20.1 ක් වන අතර වනගහනයේ අවම වීම සියයට 16.8 ක් බවට පත්ව ඇත. ඉහත සදහන් කළ වනාන්තර 39 මේ ආකාරයෙන් දෙකඩ වී, අවශේෂ වනාන්තර කැපී ගිය පසු 2030 වන විට ලංකාවේ වනාන්තර ප‍්‍රතිශතය සියට 13 සිට 10 දක්වා අඩුවීමට ඉඩ තිබේ. මෙම තත්ත්වය ලංකාවේ සෑම ක්‍ෂේත‍්‍රයක් කෙරෙහි ම ඉතා බරපතල ලෙස බලපාන බව සක් සුදක් සේ පැහැදිලි ය.
මෙහි තවත් දරුණු ඛේදවාචකයක් ඇත. එනම් 2011 වසරේ Dole සහ CIC සමාගම් සදහා ලබා දී ඇති ඉඩම් සියල්ල රක්‍ෂිත අභය භූමි ඇතුළු කැලෑ ප‍්‍රදේශයන්ට අයත් වන්නේ ය. මේ ආකාරයෙන් කැලැ ඉඩම් පෞද්ගලික අයිතියට පවරා දීම තව දුරටත් සිදු වුව හොත් අනිවාර්යයෙන් ම 2030 වන විට අපට ඉතිරිවන්නේ සියයට 10 ක කැලැ ප‍්‍රතිශතයක් පමණි.
අප රටේ වගා කොට ඇති තේ, පොල්, රබර්, කුඹුරු සදහා මෙන් ම ගොඩනැගිලි, මිනිස් ජනාවාස සහ ආර්ථික බෝග ස`දහා භාවිතා කොට ඇති ඉඩම් ප‍්‍රමාණය සියයට 83.05 කි. මෙය වර්ග කිලෝ මීටර් 65, 525ක් වන සමස්ථ ඉඩම් ප‍්‍රමාණයෙන් වර්ග කිලෝ මීටර් 54,713.375 කි. මේ අනුව බලන විට 2012 දී අපට තවත් ඉතිරි ව ඇත්තේ සියයට 16.5 ක වනාන්තර ප‍්‍රතිශතයකි. 2030 වන විට භාවිතා වන මුළු භූමි ප‍්‍රමාණය වර්ග කිලෝ මිටර් 58,972 ක් වන අතර ඉතිරි වන වනාන්තර ප‍්‍රමාණය වර්ග කිලෝ මීටර් 6525 කි.
මේ අනුව බලන විට දැනට ලෝකයේ ප‍්‍රාථමික වනාන්තර විනාශ කරගන්නා රටවල් අතරින් ලංකාව හතර වන ස්ථානයට පත්ව ඇත. මෙම රටවල් අතරින් පළමුවන ස්ථානය ගෙන සිටින්නේ බ‍්‍රසිලය යි. මේ ආකාරයෙන් දිගින් දිගට ම පරිසරය විනාශ කළ හොත් එහි පළමු හෝ දෙවන ස්ථානයට ලංකාව පැමිණීම අනිවාර්ය වේ.
මෙම වනාන්තර විනාශය හේතු කොට ගෙන සහ 2030 වන විට සිදුවන බරපතල සංවර්ධනය හේතුවෙන් මෙරටට ආවේනික සත්ව සහ ශාක විශේෂ මෙන් ම සතුන් සහ ශාක විශාල ප‍්‍රමාණයක් වද වී යාමේ තත්ත්වයක පවතී. ජෛව විවිධත්ව විනාශ වී යන උණුසුම් කලාප 24 අතරින් එකක් ලෙස දැනට ලංකාව හ`දුනාගෙන ඇත.
ලංකාවේ වෙසෙන සත්ව කාණ්ඩ අතරින් ක්‍ෂීරපායි 124 කි. ඉන් ආවේනික විශේෂ 21 කි. පක්‍ෂීන් 437 ක් වන අතර ආවේනික 39 කි. උරගයින් 209 ක් වන අතර ආවේනික 125 කි. උභය ජීවීන් 111 ක් වන අතර ආවේනික 95 කි. මිරිදිය මසුන් 91 ක් වන අතර ආවේනික 50 කි. ශාක 3,159 ක් වන අතර ආවේනික 894 කි.
මෙලෙස වනාන්තර විනාශ වීම තුළ සතුන් සහ මිනිසුන් අතර දැවැන්ත ගැටුම් ඇතිවීමට හැකිය. එහි දි සිදු කරනු ලබන්නේ සතුන් ගාල් කිරිම ය. 2006 දි ගෙන ආ ‘‘ජාතික අලි කළමනාකරණ ප‍්‍රඥප්තිය’’ මෙහි ප‍්‍රතිඵලයකි. මෙහි දි අවතැන් වන අලින් වනාන්තරයේ කිලෝ මීටර් 50 ක් වැනි ප‍්‍රමාණයකට සීමා කරන අතර එම බාධක බිඳිමින් පැමිණෙන අලින් කලහකාරි අලින් ලෙස සලකා පෞද්ගලික අයිතියට පැවරිමට ද මේ වන විට සැලසුම් කොට ඇත. මේ වන විට රිටිගල මෙවැනි අලි ගාලක් ඉදිකිරිම ආරම්භ කොට ඇත. අනුරාධපුරය. මහියංගනය, පොළොන්නරුව යන ප‍්‍රදේශවල දුප්පත්කම වර්ධනය වීමට එක් හේතුවක් ලෙස අලි මිනිස් ගැටුම හ`දුනාගෙන ඇත. එයට හේතුව එම ජනතාවගේ ජීවනෝපාය වන ගෙවතු වගාව සහ කෘෂිකාර්මික කටයුතු නිසියාකාරයෙන් පවත්වාගෙන යාමට නොහැකි වීම ය.
ඉහත සඳහන් කළ ආකාරයට දැනට සිදුවෙමින් පවතින සහ අනාගතයේ දී සිදු වන දැවැන්ත පරිසර හානිය හේතුවෙන් ඉතිරි වන සියයට 13 – සියයට 10 වනාන්තර ප‍්‍රතිශතය හේතුවෙන් මෙරට භූගත ජල මට්ටම පහත බැසීම අනිවාර්ය ය. උදාහණයක් ලෙස ගතහොත් මගුරු ඔය දැනටමත් මළ ගංගාවක් බවට පත්ව හමාර ය. අප සතුව පවතින ගංගා 103 අතුරින් සැලකිය යුතු ප‍්‍රමාණයක් අනාගතයේ දී මළ ගංගා බවට පත්වීමේ අවදානමක් පවතී.
දැවැන්ත නගර නිර්මාණකරණය හේතු කොට ගෙන කුඩා වැව් විශාල සංඛ්‍යාවක් විනාශ වන අතර ජලවහන රටාව වෙනස් ස්වරූපයක් ගෙන නියං සහ ගංවතුර ආපදා තත්ත්වය ඉහළ යාමට ඉඩ ඇත.
මෙහි ප‍්‍රතිඵලයක් ලෙස ජල හිඟයක් මෙන් ම පිරිසිදු ජලය අවම වන අතර සියලූ දෙනාට ජලය මිල දි ගැනීමට සිදුවේ. ඒ අතර ළිං පවත්වාගෙන යන අයට බදු මුදලක් ගෙවීමට සිදු වේ. එපමණක් නොව ගොවිතැන් සඳහා ලබාගන්නා ජලය වෙනුවෙන් ද සේවා ගාස්තුවක් අය කිරීමට රජය සැලසුම් කොට ඇත. මෙය අනාගතයේ දී ක‍්‍රියාත්මක වීමට නියමිත ජල පනතට අදාළ ය.
2030 ජාතික භෞතික සැලැස්ම සමඟ 2010 වසරේ දි ජපානයේ නගෝයා නමින් සම්මුතියක් අත්සන් කිරිමට සැලසුම් කළේ ය. මින් සිදු කෙරෙන්නේ ලංකාවේ ගොවියන්ට සහ පරිසර පද්ධතියට බලපාන බීජවල අඩංගු ජාන මෙන් ම සතුන්ගේ ජාන බැංකු ගතකිරිම ය. 2015 වන විට ලංකාව මෙම ගිවිසුමට අත්සන් කළ හොත් සිදුවන්නේ මෙය යි. ලෝකයේ තිබෙන සියලූ ම බීජ එක තැකට එකතු කිරිමට එකඟ විය යුතු යැයි යම් ආකාරයකින් ජපානය පැවසුවහොත් අපට ඒ සඳහා එකඟ වීමට සිදු වේ. මෙහි දි ඉන්දියාවේ හෝ ජපානයේ යම් ස්ථානයක ජාන බැංකුවක් ඉදිකරන අතර මෙම ජාන බැංකුවට සත්ව සහ ජාන් එකතු කිරිම මෙහි මූලික අරමුණ යි. මෙය දැනට සිදුවන ජාන මංකොල්ලය නිත්‍යානුකූල කිරීමකි.
මේ සියලූ කටයුතු සඳහා ලංකාවේ ඉඩම් ද පැහැරගත යුතු ය. එය කළ යුතුව ඇත්තේ නීත්‍යානුකූල අන්දමින් නොව නීත්‍යානුකූල නොවන අන්දමිනි. එනිසා ඉඩම් පිළිබඳ නීති රිති ලිහිල් කිරීමේ සැලැස්මක් මේ වන විට ආරම්භ කොට ඇත. මෙහි දී සිදුවන්නේ ගොවින්ගේ ඉඩකඩම් කොල්ලකැමකි. මෙම ඉඩම් මංකොල්ලයේ එක් පියවරක් ලෙස ඇමරිකාවේ Dole සමාගමට අක්කර 65,600 ක් ලබා දී ඇත. එය බුත්තල වෑකඩ වැව ප‍්‍රදේශයෙන් අක්කර 500 ක්, ලූණුගම්වෙහෙරින් අක්කර 3000 ක්, චුන්නක්කාඩු රක්‍ෂිතයෙන් අක්කර 15,000 ක්, සෝමාවතියෙන් අක්කර 3000 ක්, ආදි වශයෙනි. මෙය ශ‍්‍රී ලංකා වෘක්‍ෂලතා සහ වන ජීවි පනතට පටහැනි ආකාරයෙන් ලබා දි ඇති බව මෙහෙදී අවධාරණය කළ යුතු ය.
දැනට ලංකාවේ ජනගහනය අනුව වර්ග කිලෝ මීටරයකට මිනිස්සු 300 ක් 400 ක් අතර ප‍්‍රමාණයක් වෙසෙති. නමුත් බ‍්‍රසිලය වැනි රටක පවා මෙම ප‍්‍රමාණය මීට වඩා බොහෝ සෙයින් අඩු මට්ටමක පවතී. මේ අනුව බලන විට ලංකාවේ තිබෙන වර්ග කිලෝමීටර් 65,525 යනු වැදගත් භූමි ප‍්‍රමාණයකි. මෙම ඉඩම් ප‍්‍රමාණය තුළ වාණිජ බෝග වගාව ආරම්භ කළ සැණින් අධික ලෙස පොහොර සහ කෘෂිරසායන යෙදීම ඇරඹේ. අපගේ පුරාණ මතයට අනුව පසෙහි පළමු අඟල් පහ ඉතාම සශ‍්‍රීක බවකින් යුක්ත ය. එයට හේතුව ගස්වලින් බිමට පතිත වන කොළ ක්‍ෂුද්‍ර ජිවි ක‍්‍රියාවලියක් මගින් දිරාපත්වීම ය. මෙය පොහොර නිෂ්පාදනය කරන යන්ත‍්‍රයක ක‍්‍රියාකාරකමක් මෙනි. එවැනි යන්ත‍්‍රයකට රසායනික පොහොර සහ වෙනත් කාමිනාශක වැනි දැ යෙදීම තුළ පස විශාල වශයෙන් නිසරු බවට පත්වේ. එමෙන් ම මිනිසුන්ට ද විවිධ රෝගාබාධයන්ට ගොදුරු වීමට සිදුවෙති.
වර්තමානයේ ඉතා උග‍්‍ර තත්ත්වයකට පත්ව ඇති වකුගඩු රෝගය මෙහි ප‍්‍රතිඵලයකි. අතීතයේ සිට ධාන්‍යාගාරයක් ලෙස හැඳින් වු හිඟුරක්ගොඩ ප‍්‍රදේශය මේ වන විට දිනෙන් දින මිය යන මිනිසුන් වළ දමනා කනත්තක් බවට පත්ව ඇත. ඒ සදහා වගකිව යුත්තේ බහුජාතික සමාගම් සහ පවතින පාලනය යි. නමුත් පාලකයින්ට මේ කිසිවක් නොවැටහේ, නොහැඟේ, ඔවුන් සියල්ල මුදල් මත තීරණය කරමින් ලංකාවේ මහ පොළොව ද, මිනිසුන් ද, සතා සිවුපාවා ද අකල් මරණය කරා රැගෙන යති.
මේ සියල්ල අධිරාජ්‍යවාදයේ ලාබය කතා භූමි විකිණීම, පරිසර අර්බුදයකට පත්කිරිම, ජන ජීවිතය අවුසහගත බවට පත්කිරීම, ක‍්‍රියාත්මක කෙරෙන්නේ ලාබය පමණක් මූලික කොට ගෙන ය. එනිසා මේ මහා සංවර්ධනය: මෙරටේ ජනතාවට, මෙරටේ පරිසරයට, හෙටක් නිර්මාණය කළ හැකිද යන තත්ත්වය සංවාදයට ලක් කළ යුතු ය.
මෙම මහා නගර කලාප පළමුවෙන් නිර්මාණය කළේ, දැවැන්ත මහා මාර්ග තැනුවේ, මහා සංචාරක කලාප නිර්මාණය කළේ, ඇමරිකාව ය. නමුත් පසුගිය වසරේ ඇමරිකාවට සැන්ඩි නමින් චණ්ඩ මාරුතයක් පැමිණියේ ය. එය ආපසු ගියේ ඇමරිකාවේ එක් පළාතක් සම්පූර්ණයෙන් ම විනාශයට පත්කරමිනි. එම විනාශය ඇමරිකාවේ මිනිසුන්ට බරපතල ලෙස දැනුණි. ඔවුන්ට සිය නිවාස. දේපළ, දුදරුවන්, ඥාතින් අහිමි වූහ. නමුත් ඇමරිකාවට අදවන විටත් මෙම අවතැන් වූ ජනතාවට සහන ලබා දීමට නොහැකි වී ඇත. ඔවුන් ආර්ථිකමය අතින් දියුණු නම්. ඔවුන් විසින් ම කියන ලද සංවර්ධනය ඔවුන් අත්පත් කරගෙන සිටින්නේ නම්, මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාලීමට ඔවුන් සමත් විය යුතු ය. මිනිසුන්ට නිදහස් නිවහල් සමාජයක් බිහි කිරිමට ඔවුන් සමත් විය යුතු ය.
නමුත් ලෝකය පුරා ම ලැබු අත් දකීම් තුළින් එවැනි දැ කිරිමට නොහැකි බව අප දැක ඇත. නමුත් ලෝකයේ අත්ඳැකීම් සියල්ල දකිමිනුත් අපි මේ ඊනියා සංවර්ධනය කරා ගමන් කරමින්: අපේ පස, අපේ ජලය, අපේ පිරිසිදු වාතය, සතා සිවුපාවා, ගහ කොළ සහ මේ පොළොව විනාශ කරගන්නේ ඇයි ද යන ප‍්‍රශ්නය අද වන විට මතුව ඇත. එම නිසා අප කල්පනා කළ යුත්තේ විප්ලවයක් කිරිමට වුව ද පොළොවේ පය ගසා ජිවත් ව සිටිය යුතු ය යන්න ය. මෙසේ පයගසා සිටීමට තිබෙන භූමිය අනාගතයේ අයිති වන්නේ බහුජාතික සමාගමකට නම්, බීමට තිබෙන ජලය බහු ජාතික සමාගමක නම්, කෑමට තිබෙන ආහාර බහුජාතික සමාගමක නම්, මාර්ක්ස් පැවසු ලෙස අපිට විප්ලවයකට යාමේ හැකියාව පවතින්නේ සියයට දශම ගණනක් පමණි.
නැවත විප්ලවයක් ඇරඹෙන්නේ ද එයින් ම ය. නමුත් ලංකාවේ එවැනි පෙරමග ලකුණක් පෙනෙන තෙක් මානයක හෝ දක්නට නැත. එනිසා විප්ලවයකට පසු පරිසරය ආරක්‍ෂා කරගත හැකි නම් එය එලෙස කරන අතර ම එය සිදුවන තෙක් හෝ මෙම මහ පොළොව ආරක්‍ෂා කිරිම සදහා විසඳුමක් සෙවිය යුතු ය. එනිසා සංවර්ධනයේ සීමාවන් හඳුනාගැනීමට සිදුව ඇත. සංවර්ධනයේ නව දර්ශකයන් නිර්මාණය කිරිමට අපට සිදුව ඇත. එවැනි දෑ අඩංගු විය යුතු දේශපාලන දර්ශනය කුමක් ද යන්නත්, ඒ දර්ශනය අනුව රට පෙරට ගෙන යාමටත් අපට අවශ්‍ය ව ඇත. ඒ සඳහා අප සියලූ දෙනා එකා මෙන් අත්වැල් බැඳගත යුතු යුගය උදා වී ඇත. ඒ සඳහා පෙළ ගැසෙමු. ක‍්‍රියාත්මක වෙමු
