පරිසරය දූෂණයට සම්මාන දූෂණයට විරුද්ධව ගුටි-Ravaya

තරිඳු උඩුවරගෙදර

මීට පෙර කැලණි ගෙඟ් ජලය කොකාකෝලා සමාගම විසින් අපවිත‍්‍ර වී ඇති බවට හෙළි වූ අවස්ථාවේදී අප කියන්නට උත්සාහ කළේ මේ බහුජාතික සමාගම් බොහොමයක් ලංකාවේ දූෂිත දේශපාලන ක‍්‍රමය උපයෝගී කරගනිමින් ප‍්‍රමිතියෙන් තොර උපක‍්‍රම හරහා පරිසරයටද ජීවීන්ටද හානි සිදුවන අයුරින් සිය නිෂ්පාදන කටයුතු සහ ඒවා අලෙවි කිරීම සිදු කරන බවත් ජාතිවාදී බාල පදනමකින් නොව සංවාදශීලී ආකාරයට පරිසරය සහ ආයෝජන කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බුද්ධිමය සංවාදයක් ඇති කිරීමට සිවිල් සමාජය මැදිහත්විය යුතු බවත් ය. එය බාල කොකාකෝලා විරෝධයකට එහා ගිය සංවාදයක් විය යුතු ය. මේ වනවිටත් කැලණි ගඟ දූෂණය කරන සමාගම් සම්බන්ධයෙන් පියවර ගැනී නැත. පරිසර දූෂණය රකින්නට ගන්නා උත්සාහයන් නැත. ආණ්ඩු එයාකාර බව සැබෑය. එහෙත් දැන් ආණ්ඩුවට ජනතා ප‍්‍රශ්න මඟහරින්නට අබමල් රේණුවකවත් අයිතියක් නොමැත. එයට විරුද්ධව සිවිල් සමාජය පෙළගැසිය යුතුම ය.

මේ කතාව කොකා කෝලා සමාගම හෝ කැලණි ගඟට සම්බන්ධ නොවුණත් ඒ සමග සම්බන්ධයක් නැතිවා ද නොවේ. සටහන දැදුරු ඔය වනසන ජිෆී සමාගම ගැන වුවත් ආණ්ඩුවෙන් අප ප‍්‍රථමයෙන් ප‍්‍රශ්න කරන්නේ කැලණි ගඟ සම්බන්ධයෙන් කළේ මොකක්ද? යනුවෙනි. ජලසම්පාදන මණ්ඩලයට සිදුවූ පාඩුව පියවන්නට කොකාකෝලා සමාගමට දඩයක් ගැසීම ප‍්‍රමාණවත්ද? විෂ වතුර පානය කළ ජනතාවට සිදුවන්නේ කුමක්ද?

ජිෆී සමාගම සම්බන්ධ කතාවෙහි එක් පසෙකින් ඇත්තේ සමාගම විසින් නීතිරීති සහ ප‍්‍රමිතිය තඹයකට මායිම් නොකරමින් කටයුතු කරන ආකාරයයි. අනෙක් පසින් තිබෙන්නේ පරිසරවේදීන් කිහිප දෙනෙකුට සමාගමේ කණ්ඩායමක් විසින් තර්ජනය කිරීමයි.

ජිෆී සමාගම

ශ‍්‍රී ලංකා ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය මගින් සංවිධානය කරන ජාතික සම්මාන උළෙලේදී පිට පිට සිව් වතාවක් හොඳම අපනයනකරුට හිමි රන් සම්මානය ලබාගත්තේ ජිෆී සමාගමයි. ඒ පරිසර අමාත්‍ය ධුරය දරන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතිනි. ජිෆී සමාගමේ කොබෙයිගනේ කර්මාන්ත ශාලාව මගින් දැදුරු ඔයේ පරිසරය දූෂණය වන බවට විශාල චෝදනා රවීන්ද්‍ර කාරියවසම්, සජීව චාමිකර වැනි පරිසර ආරක්‍ෂක සමාජ ක‍්‍රියාකාරිකයන් විසින් එල්ල කරනු ලැබුවේ කලෙක පටන් ය.

කුරුණෑගල කොබෙයි ගනේ ප‍්‍රදේශයේ හෙන්ගමුව ග‍්‍රාම නිලධාරී වසමේ ජිෆී ප්‍රොඩක්ට් පුද්ගලික සමාගම ක‍්‍රියාත්මක වෙන්නේ ය. 2008 වර්ෂයේ ආරම්භ වූ මෙම කර්මාන්තශාලාව නවීන වගාවන් සඳහා කොහුබත් සකසා අපනයනය කරන නෝර්වීජියානු සමාගමකි. රටවල් රැුසක කටයුතු කරන බහුජාතික සමාගමක් වන මෙම සමාගමෙන් කොහුබත් පිරිපහදු කොට අපනයනය කරනු ලබයි. මෙහිදී ප‍්‍රමිතියට සහ නීතියට අනුව සිදුකරන්නේ නම් නියමිත රසායනික සංයුතීන් යොදාගනිමින් භුමියට එක්වන අපජලය තනුක කොට දිනපතා එහි විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කළයුතු වුවත් දේශපාලන බලය තිබෙන්නේ නම් ඕනෑම දෙයක් නීතියට පිටින් කළ හැකි ලංකාවේදී ජිෆී කර්මාන්තශාලාව සිදු කරන්නේ නයිටේ‍්‍රට් අඩංගු රසායනිකයක් යොදාගනිමින් කොහුබත් පිරිපහදු කිරීමයි.

මේ බව තහවුරු කරන්නට මලූ ගණන් සාක්ෂි අවශ්‍ය නොවන්නේ 2014.11.14 දින ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 21498 යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඞී.එම්.කේ. දිසානායක මහතාගේ අත්සනින් යුතුව මධ්‍යම පරිසර අධිකාරියෙන් නිකුත් කළ ක්ෂේත‍්‍ර පරීක්ෂණ වාර්තාවක ජිෆී සමාගමෙන් දැදුරු ඔයට නයිටේ‍්‍රට් එකතු කරන බව සඳහන් වී ඇති නිසාය. සමාගමෙන් ප‍්‍රතික්ෂේප කරන නමුත් පරිසරවේදීන් පෙන්වා දෙන්නේ යුරෝපීය සංගමයේ ප‍්‍රමිතියට අනුව ලීටරයකට මිලිලීටර් 10 ක් පමණක් නයිටේ‍්‍රට් එකතු විය යුතු වුණත් මෙම කර්මාන්තශාලාවෙන් ලීටරයට මිලිලීටර් 2000 ක් එකතු කරන්නේ නයිටේ‍්‍රට් බවයි.

එමෙන්ම කර්මාන්ත ශාලාවට අයත් භූමියේ ජලය එක්වී ඇති තැන්වල නයිටේ‍්‍රට් තිබෙන බවත් එම ජලය වර්ෂාව සමග සේදී ගොස් දැදුරු ඔයට මුසුවන බවත් වාර්තාවට අනුව පෙනී යයි. එමෙන්ම එහි සඳහන් වෙන්නේ කැල්සියම් නයිටේ‍්‍රට් බෑග් ලෙස කර්මාන්තශාලා භූමියේ ගොඩගසා තිබුණු බවත් ඒවා කැබලි කිරීමේදී අනාරක්ෂිත ලෙස පරිසරයට නයිටේ‍්‍රට් මුසු වන බවත් ය.

එම වාර්තාවේ සඳහන් වන ආකාරයට අදාළ ක්ෂේත‍්‍ර පර්යේෂණ වාර්තාවට පෙර 2013.08.27 දිනයේ කරන ලද ක්ෂේත‍්‍ර පර්යේෂණයකදී ද කර්මාන්තශාලාව ආශ‍්‍රිත ජලයේ විද්‍යුත් සන්නයනතාව වැඩිවන බවත් කැටායන හා ඇනායන ප‍්‍රමාණය වැඩිවන බවත් හෙළිවී ඇති අතර 2013.11.18 දින කර්මාන්තශාලාව වෙත මේ සම්බන්ධයෙන් පියවරක් ගන්නා ලෙස දැනුම් දී තිබේ. එහෙත් එම පරීක්ෂණ වාර්තාවේදී ලබාදුන් නිරීක්ෂණ අනුව ක‍්‍රියාත්මක වීම වෙනුවට කර්මාන්ත ශාලාව මීළඟ පර්යේෂණ වාර්තාව සිදුකරන මොහොත වෙද්දීත් වඩාත් විනාශකාරී වී තිබෙන්නේ ය. එම පර්යේෂණ වාර්තාවෙහිද මේ වන විට මකුළුදැල් බැඳෙමින් පවතින පසුබිමක දැදුරු ඔය හා කර්මාන්තශාලාව අවට ජීවීන් විනාශ මුඛයට යනතුරුම මේ මහා පරිසර විනාශය සිදුවනු ඇත.

දැදුරු ඔය පතුලේ ගැඹුරු ළිඳක් කපා කර්මාන්තශාලාවට ජලය ලබාගන්නා බවත් දවසකට වතුර ලීටර් ලක්ෂ අටක් පමණ එසේ ලබාගන්නා බවත් 2014 වාර්තාවේ සඳහන් වන්නේ ය. කර්මාන්තශාලාව එතරම් ජලය ලබාගැනීම සඳහා අවසර ලබාගෙන නොමැත. ඒ ජලය නැවත පිටවෙන්නේ නයිටේ‍්‍රට් මිශ‍්‍රවීමෙන් පසුවය.

එමෙන්ම වාර්තාව පෙන්වා දෙන්නේ මේ කර්මාන්තශාලාවට අයත් ඉදිකදිරීම් රැුසක්ම දැදුරු ඔයෙන් මීටර් පනහක් ඇතුළත නීතියෙන්ම ගංගා පෝෂක ප‍්‍රදේශ ලෙස රජයට අයිති වන ප‍්‍රදේශයක තිබෙන බවයි. කර්මාන්තශාලාවෙන් ඔයට යොමුකර ඇති විශාල බෝක්කු හරහා ගෙඟ් ජලය වැඩි කාලයට විශාල වශයෙන් අපද්‍රව්‍ය පිට කෙරෙන්නේ ය. එමෙන්ම ප‍්‍රදේශවාසීන් පවසන්නේ මෑත කාලයේ කර්මාන්තශාලාව අවට පාරවල්වලට දූවිලි ඉහෙන බව පවසා බවුසර් හරහාද වතුර ඉසින බවයි. එම ජලයේද නයිටේ‍්‍රට් මුසුව තිබෙන බව පරිසරවේදීහු පවසති.

මෙවන් පසුබිමක මධ්‍යම පරිසර අධිකාරියට හෝ වයඹ පළාත් පරිසර අධිකාරියට මේ කර්මාන්තශාලාව සම්බන්ධයෙන් කිසිවක් කරගන්නට බැරි තත්ත්වයක් පැවතුණි. විශේෂයෙන් හිටපු ආණ්ඩුව මෙය නවත්වන්නට උත්සාහයක් ගෙන තිබුණේ නැත. කියැවුණු ආකාරයට හිටපු ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුගේ සම්බන්ධකම් මේ කර්මාන්තශාලාව සමග තිබීම මෙයට හේතුවක් විය. දැන් එම සම්බන්ධකම් අදාළ වන්නේ නැත. ආණ්ඩුව තුන්තිස් පැයේ මතුරන ආකාරයට මෙය ජනතාවගේ ආණ්ඩුවකි. එය හුදු මැතිරීමක් නොව සැබෑවක් නම් අප ගෙන එන වාර්තා නොව මධ්‍යම පරිසර අධිකාරිය ලබාදුන් වාර්තා මත ආණ්ඩුව ප‍්‍රථමයෙන් මේ ප‍්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුතුය.

ජිෆී කර්මාන්ත ශාලාවට ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ කොහොමද? වයඹ පළාත් පරිසර අධිකාරියෙන් පරිසර ආරක්ෂණ බලපත‍්‍රය ලැබුණේ කොහොමද? ක්ෂේත‍්‍ර පරීක්ෂණයෙන් පසුවත් පියවරක් නොගැනුණේ ඇයි? කර්මාන්තශාලාව සම්බන්ධ යෙන් දැන් ගතයුතු පියවර කුමක්ද? සිදුවී ඇති පරිසර විනාශයන්ට වගකිවයුත්තේ කවුද? පරිසරයට හානි සිදුකර ඇති ජිෆී සමාගමට රන් සම්මාන ලැබෙන්නේ කෙසේද?

පරිසරවේදීන්ට ගුටි

ඔක්තෝබර් 03 වැනි සෙනසුරාදා පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා ඇතුළු කණ්ඩායමක් කොබෙයිගනේ ප‍්‍රදේශයට ගොස් ඇත්තේ මෙම කර්මාන්තශාලාවෙන් සිදුවන පරිසර හානිය පිළිබඳව ගවේෂණයක් කොට වාර්තාවක් සකස් කිරීම සඳහා ය. එහිදී ඔවුන්ට මුහුණදීමට සිදුවූ සිදුවීම සහ කර්මාන්තශාලාව පිළිබඳව ඔක්තෝබර් 5 වැනිදා පැවති මාධ්‍ය සාකච්ඡුාවකදී රවීන්ද්‍ර කාරියවසම් මහතා විස්තර කළේ මෙසේ ය.

‘අප සංවිධානයේ වෑකඳවල රාහුල හිමි සහ දුමින්ද අලහකෝන් මහතා සහභාගි වුණා. අපි නිරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටින විට ජිෆී සමාගමේ පුද්ගලයන් 30 ක් විතර ඇවිත් අපේ කටයුතුවලට බාධා කළා. ඔවුන් අපට තර්ජනය කරමින් අපේ කැමරා උපකරණ ආදිය උදුරාගන්න උත්සාහ කළා. ඒවගේම අසභ්‍ය වචනයෙන් අපිට බැණ වැදුණා. මේ සම්බන්ධයෙන් අපි පොලීසිය දැනුවත් කළා. එම දැනුවත් කිරීමට අනුව කොබෙයිගනේ පොලිසියේ නිලධාරීන් එතැනට ආවා. ඒගොල්ලො අපිව පොලිස් ස්ථානයට අරගෙන ගිහින් අපෙන් කටඋත්තර ගත්තා. ඒ වගේම පොලිසිය අපේ ෆයිල් සහ කැමරා උපකරණ ආදිය කිසිදු හේතුවක් නැතිව පරීක්ෂා කළා. නමුත් අපිට බාධා කරපු ජිෆී සමාගමේ නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගත්තේ නෑ. තර්ජනයට ලක්වුණේ, අපහසුතාවට ලක්වුණේ අපි. හැබැයි පොලීසිය ක‍්‍රියාමාර්ග ගන්නේ තර්ජනයට ලක්වුණු අපිට එරෙහිව. ඉතින් හොඳටම පැහැදිලියි පොලීසිය ඉන්නෙත් දැවැන්ත පරිසර හානියක් සිදු කරන බහුජාතික සමාගම් එක්ක. පොලීසිය විතරක් නෙවෙයි එම ප‍්‍රදේශයේ සියලූම රාජ්‍ය ආයතන ඉන්නේ ජිෆී සමාගමත් එක්ක. අපිට තියන ගැටලූව තමයි කිසිදු පරිසර නීතියක් නොසලකා කටයුතු කරන මේ බහුජාතික සමාගම් දැන් පරිසරවේදීන්ට, භික්ෂූන් වහන්සේලාට තර්ජනය කරන්න, කුණුහරුපෙන් බනින්න පටන් අරන් තියනවා. එතකොට එහෙම කටයුතු කරන කොම්පැනි වෙනුවෙන් තමයි පොලීසිය සහ රාජ්‍ය ආයතන පෙනී ඉන්නේ. අපිට දැනෙන විදිහට ජිෆී සමාගමත් පොලිසියත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා. ඒ වාගේම පසුගිය දිනවල සුජීව සේනසිංහ ඇමැතිවරයා ජිෆී සමාගමේ නෝර්වේ මව් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා සමග ජිෆී සමාගමේ නිරීක්ෂණ කටයුතුවලට සහභාගිවෙලා තිබුණා.

ඒ වාගේම පසුගිය ආණ්ඩුවෙ බැසිල් රාජපක්ෂ මහතාගේ බලතල පාවිච්චි කරලා පරිසර හිතකාමී නොවන අන්දමින් නීති විරෝධී ලෙස මොවුන් මෙම කටයුතු කරගෙන ගියා. මෙහි නිරීක්ෂණ කටයුතු කිරීම සඳහා පොල් සංවර්ධන මණ්ඩලයට හා මධ්‍යම පරිසර අධිකාරියට අවස්ථාවක් දුන්නේ නැහැ. බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා හරහා ඔවුන් රාජකාරියට බාධා කළා. ඉඩ ප‍්‍රස්ථා ඇහිරුවා. ඔවුන්ට තර්ජනය කළා. අපිට තියෙන ප‍්‍රශ්නය තමයි මේ යහපාලන ආණ්ඩුව තල්ලූ වෙන්නෙත්, ගමන් කරන්නෙත් එතැනටද කියන එක. කොහොම වුණත් අපි මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශය භාර ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර තියනවා. මේ පරිසරවේදීන්ට සිදුවන තර්ජන සම්බන්ධයෙන් පියවර ගන්න කියලා.’

නිශ්ශබ්දතාව

අදාළ පැමිණිල්ල ලියාගත් මොහොතේ පොලීසිය විසින් මෙම කණ්ඩායමේ සිටි සාමාජිකයන්ගේ දුරකතන අංක ලබාගෙන ඇති අතර සිදුවීමෙන් පසු කොළඹ මාධ්‍ය හමුවක් පැවැත්වීමට සූදානම් වූ පසුව රවීන්ද්‍ර කාරියවසම් මහතාට ශ‍්‍රී ලංකා ගුවන් විදුලියේ සභාපතිවරයායැයි කියමින් 071 786 284 8 දුරකථන අංකයෙන්ද, තවත් දුරකථන අංකයකින් කුරුණෑගල ගම්වාසියෙක් යැයි කියාගත් පුද්ගලයෙකුද සැකසහිත දුරකථන ඇමතුම් ලබාදී ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එන බව පවසා වක‍්‍රාකාර බලපෑම් සිදුකර ඇත.

ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා කළ පැහැදිලි කිරීම පිළිබඳව කිසිදු සොයාබැලීමක් කරන්නට හෝ පළකරන්නට ජනමාධ්‍ය කටයුතු නොකිරීමත් ගැටලූසහගත සිදුවීමකි. අපට දැනගන්නට ලැබී ඇති ආකාරයට අදාළ මාධ්‍ය සාකච්ඡුාවට සහභාගි වූ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු පැවසුවේ තමන්ගේ ආයතනවලට මෙම සිදුවීම වාර්තා නොකර සිටින ලෙසට ඉහළින් බලපෑම් එල්ල වී ඇති බවයි. ගින්නක් නැතිව දුමක් නොනඟින නිසා මේ කතාවේ ඇත්ත නැත්ත කුමක්දැයි සොයා බැලිය යුතු ය. එවන් බාධාවක් තිබෙන්නේ නම් මාධ්‍ය නිදහසක් ගැන ආණ්ඩුව ගසන පම්පෝරිවලින් පළක් නොමැති නිසා ය.

විශේෂයෙන් මේ සම්බන්ධව වගකිවයුතු ආයතනවල නිහඬතාව ගැටලූසහගතය. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලාල් මර්වින් ධර්මසිරි මහතාගෙන් කර්මාන්ත ශාලාව සම්බන්ධව වයඹ පළාත් පරිසර අධිකාරියෙන් ලබා දුන් වාර්තාව පිළිබඳව විමසන්නට දුරකථන ඇමතුමක් ලබා දුන්නද ඔහු පැවසුවේ තමන් වෙනත් රාජකාරියක නියැලී සිටින බවත් පසුව ඇමතුමක් ලබාගන්නා බවත් ය. එහෙත් ලිපිය ලියා අවසාන වන තෙක් ඔහුගේ රාජකාරී අවසාන වී තිබුණේ නැත. එමෙන්ම කොබෙයිගනේ පොලීසියේ ස්ථානාධි පතිවරයා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට අප ගත් උත්සාහයද අසාර්ථක විය.

දැදුරු ඔයේ සිදුව ඇති විනාශය සඟවන්නට දෙයක් නොවේ. ඕනෑම පුද්ගලයෙකුට කොබෙයි ගනේ ප‍්‍රදේශයට ගියහොත් විනාශය සියැසින්ම දැක බලාගත හැකිය. එහෙත් අපට ඇති ගැටලූව සියලූදෙනාගේ නිහඬතාවයි. මේ නිහඬතාව පැහැදිලි කරන්නේ තවමත් අප සිටින්නේ කුමක් හෝ බලවේගයක මර්දනකාරී හස්තයකට බියෙන් බවයි. දැන් පරාජය කළයුත්තේ ඒ මර්දනකාරී හස්තයයි.

ආයතනය නිවැරදිව කටයුතු කරන බව සහතිකයි | කොබෙයිගනේ ජිෆී කර්මාන්තශාලාවේ විධායක නිලධාරියෙක්

පරිසරවේදීන් යැයි කියාගන්නා පුද්ගලයන් තිදෙනාට තර්ජනය කිරීමේ සිදුවීමට ආයතනය කිසිම සම්බන්ධයක් නැහැ. එය ගම්වාසීන් විසින් මේ නාඳුනන පුද්ගලයන් ගැන සැක සිතී සිදු කළ දෙයක්. පොලීසියට මේ අය පැමිණිලි කරලාත් නැහැ තමන්ට තර්ජනය කළා කියලා. මේ අය පරිසර සංවිධානවලින් බවට අනන්‍යතාව ඔප්පු කළාට පස්සේ නිදහස් කරලා. අවශ්‍ය නම් පොලීසියට කතා කරලා දැනගන්න පුළුවන්. පරිසරය විනාශ කරන බවට සමාගමට තියෙන චෝදනා අපි ප‍්‍රතික්ෂේප කරනවා. ඒවා අපේ සමාගම සමග තරගකාරී තවත් සමාගමක් විසින් පරිසරවේදීන් සහ මාධ්‍යවේදීන්යැයි කියාගන්නා කණ්ඩායමක් විසින් සමාගම අපකීර්තියට ලක් කිරීමට සිදුකරන දේවල්. අපේ සමාගමෙන් ප‍්‍රදේශවාසීන්ට රැුකියා රැුසක් සහ රටට ආයෝජන රැුසක් හිමිවෙලා තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරියට අපේ සමාගම සම්බන්ධයෙන් පියවර ගන්න බලයක් නැහැ. අපි බලපත‍්‍රය ලබාගත්තේ ආයෝජන මණ්ඩලයෙන්. පරිසර ආරක්ෂණ බලපත‍්‍රය ලබාගත්තේ වයඹ පළාත් පරිසර අධිකාරියෙන්. සමාගම සම්බන්ධ විවිධ වාර්තා මාධ්‍යවලට දීලා ගැටලූ ඇති කරන්නේ වයඹ පළාත් පරිසර අධිකාරියේ අභ්‍යන්තර ප‍්‍රශ්නයක් නිසා. අප සතුව තියෙනවා ආයතනය නිවැරදිව කටයුතු කරන බව සහතික කළ වාර්තා. අවශ්‍ය නම් ඉදිරිපත් කරන්න පුළුවන්
http://ravaya.lk/?p=10188

Leave a Reply

Your email address will not be published. Required fields are marked *