කමාන්ඩෝ 4×4 පරිසර හානියක් කර තිබේද?
යුද හමුදා කමාන්ඩෝ බලකායේ සිව්බල (Four Weel Vehicle) ක්‍රීඩා සමාජය විසින් සිදුකරන දැවැන්ත පරිසර විනාශයට එරෙහිව පසුගියදා පරිසරවේදීන් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල අද(22) මානව හිමිකම් කොමිසමේදී විභාගයට ගැනුණි.
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇති අතර කොමාන්ඩෝ රෙජිමේන්තුව, යුධ හමුදාපතිවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කර තිබුණි.
අද දින සිදුවූ විභාග කිරීමේ කටයුතු පිළිබඳ අදහස් දැක්වූ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක, පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසා සිටියේ
‘කොමාන්ඩෝ බලකායේ සංවිධානයෙන් මෙම සිව්බල මෝටර් රථ රැළිය පරිසරවේදීන්ගේ විරෝධය නොසලකා පසුගිය මාසයේදී පැවැත්වුණා. ලංකාවේ උතුරු, නැගෙනහිර, ඌව පළාත්වල වටිනා වනාන්තර හරහා තමයි සංවිධායකයන් මෙම රැළියේ මාර්ගය සකස් කරල තිබුණෙ. එම ප්‍රදේශවල වෙරළ තීර, කළපු, ළඳුකැලෑ, රක්ෂිත අභයභූමි හරහා පරිසරයට දැවැන්ත විනාශයක් සිදුකරමින් ඔවුන් කිලෝමීටර් 775 ක දුරක් ගමන් කරා. ක්‍රීඩා සංචාරක කර්මාන්තයට මුවාවෙමින් පරිසරයට හානි කිරීම ලංකාවෙ දැන් අලුත් සම්ප්රදායක් බවට පත්වෙලා තියනවා. මනංකඩුව වැලි පරය ආශ්රිත ප්‍රදේශයෙනුත් වෙරලාශ්රිත ප්‍රදේශ වලත් මෙම ධාවන තරඟය ක්‍රියාත්මක වී තිබෙනවා. මේ ධාවනය ක්‍රියාත්මක වෙද්දී එකට අවශ්‍ය යටිතල පහසුකමක් ලෙස යුධ ටැංකි යොදාගෙන තිබෙනවා. මෙලෙස යුධ ටැංකි සිවිල් වැඩකටයුතු වෙනුවෙන් බාවිත වෙන්නෙ නෑ වගේම එය ජාතික ධනය අපතේ යැවීමක්. 1988 අංක 57 දරන වෙරළ සංරක්ෂණ ආඥා පනත අනුව මෙහි ඇතැම් ප්‍රදේශවල ගමන් කිරීම වෙරළට හානි කිරීමක් වගේම මේ ප්‍රදේශයේ කැස්බෑ විශේෂ ඇතුළු සත්ව විශේෂවලට හානිකර ක්‍රියාවලියක්. මෙවැනි හේතු කිහිපයක් නිසා අපි විසින් කරන ලද පරිසර විනාශයට අදාල පැමිණිල්ල පිළිබඳ නිගමනයට එන්න අද දවසේ හැකිවුණේ නෑ. අද දවසේ පැවති විභාග කිරීමේදී වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණුනේ නෑ. මෙහිදී මතුවුණු කාරණයක් වන්නේ මෙම ධාවන තරඟය සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ලබාගෙන නොමැති බව. නමුත් අධි සංවේදී ප්‍රදේශ හරහා මෙම රැළිය ගමන් ගත්ත බව ඔවුන් පිළිගත්තා. එයට අදාල තවත් වාර්තා හමුදාව විසිනුත් තවත් විද්‍යාත්මක වාර්තා අප විසිනුත් සැපයිය යුතු වෙනවා. ඒ අනුව මානව හිමිකම් කොමිසම තීරණයක් ගනීවි ඉදිරි කටයුතු පවත්වාගෙන යාම පිළිබඳව. අපි තවත් වැරද්දක් විදියට දකිනවා වෙරල සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ මෝටර් රථ ධාවන රැළිය අවසර ලබාදීම. එකට අවශ්‍ය පරිසර තක්සේරු වාර්තාවක් හෝ මූලික පරිසර අධ්‍යන වාර්තාවක් සිදු කර නෑ. එම නිසා මේක මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වගේම වෙරළ සංරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කිරීමක් වෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මානව හිමිකම් කොමිසම මිට අදාලව හොඳ විසඳුමකට පැමිණෙයි කියලා.
ඡායාරූප – තුසිත සිංහකුට්ටිආරච්චි
sources- http://www.sathhanda.lk/news/974-4×4

