පාරාදීසය නරකාදියක් කිරීම නොහොත් සංවර්ධනය මුවාවෙන් පරිසරය නැසීම

images

අද වන විට සිදුවන දැවැන්ත සංවර්ධනය පරිසරය ගැන හෝ මිනිසුන් ගැන හිතන විදියේ සංවර්ධනයක් නොවන බව වඩා පැහැදිලි වෙමින් ඇත. 2011 සිට 2030 දක්වා සැලසුම් කර ඇති දැවැන්ත සංවර්ධනය මේ බිමේ අවශ්‍යතාවයට හෝ මෙහි ජීවත්වන මිනිසුන්ගේ අවශ්‍යතාවය නොවන බව වඩා පැහැදිලිය.

 ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවල ණය ආධාර හා අවශ්‍යතාවය මත  ඕස්ටේලියාව ඇතුලූ රටවල් කිහිපයක උපදේශයන් උඩ කි‍්‍රයාත්මක වන දැවැන්ත සංවර්ධනය චීනය ඇතුලූ රටවල් 36 ක අවශ්‍යතාවය හා  ඕනෑ එපාකම් සපුරණ සංවර්ධනයකි. අද සිදුවන මෙම දැවැන්ත සංවර්ධනය සඳහා 2005 ජූනි මාසයේ රටවල් 36 ක් සමඟ ගිවිසුම් අත්සන් කර ඇත.

 එම ගිවිසුම්වලට අනුව වර්ග කි.මීටර් 65525 km2   කුඩා දූපතක් වන මෙහි 2030 අවසන්වන විට කොළඹ,ගාල්ල, හම්බන්තොට, තී‍්‍රකුණාමලය, යාපනය මහ නගර කලාප 5 කුත් විශාලම මහා නාගරික කලාපය ලෙස අනුරාධපුර, පොලොන්නරුව, දඹුල්ල, තී‍්‍රකුණාමලය මැදිහත්ව ඉදිකරන තවත් මහා නාගරික කලාපයකුත් ඉදි කරනු ලබයි.

 එමෙන්ම 1000 නප  අධිවේගී මාර්ගයක් ලංකාව පුරාම ඉදිකරන අතර. එය මන්නාරමෙන් ඉන්දියාවේ දණුස් කොඩි දක්වා සම්බන්ධ කරනු ලබයි. 2030 වන විට ලංකාවේ සියලූම ගුවන්තොටුපලවල් ගණන 19 ක් වන අතර ධිවර ඇතුළු වරායවල් සංඛ්‍යාව 44 ක් වේ.

 එමෙන්ම සියලූම වනාන්තර පදනම් කර ගනිමින් සංචාරක කර්මාන්තය දියුණු කිරීමට රජය බලාපොරොත්තු වන අතර  ඕනෑම විදේශීය රටකට මෙහි කැමති ආකාරයේ ආයෝජනයක් කළහැකි ලෙස ගිවිසුම් සකසා ඇත.

 අද දවස වන විට මෙලෙස සිදුවන සංවර්ධනය දැවැන්ත ලෙස ශී‍්‍ර ලංකාවේ පරිසරය විනාශ කර දමන සංවර්ධනය වී හමාරය. මෙම සංවර්ධනය හමුවේ දිනෙන් දින විනාශ වන වනාන්තර යළි කිසිදාක ගොඩනැගිය නොහැකි ලෙස විනාශ කර දමමින්  ඇත.

 පහත වගුවේ දැක්වෙන්නේ ක‍්‍රමානුකූලව ලංකාවේ වනාන්තර විනාශ වූ අකාරයයි.

අංකය රට වනාන්තර ප‍්‍රතිශතය
1 නයිජීරියාව 55.7%
2 වියට්නාමය 59.5%
3 කාම්බෝජය 29.4%
4 ශී‍්‍ර ලංකාව   15.2%
5 මාලවී 14.9%
6 ඉන්දුනීසියාව 12.9%
7 මොරොක්කෝව 9.3%
8 පැනමා 6.7%
9 ගෞතමාලා 6.4%

ලෝකයේ හතරවන ස්ථානයට පත්වන වනාන්තර විනාශ කරන රට බවට 2011 වර්ෂයේ පත්වන ශී‍්‍ර ලංකාව තුළ වනාන්තර අක්කර ලක්‍ෂ ගණනක් 2012  හා 2013 වාර්තාවල දී සංවර්ධනය මුවාවෙන් විනාශ කර දමනු ලබන අතර, වනාන්තර විනාශය සම්බන්ධව2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇත.

දිස්ති‍්‍රක්කය වාර්තා වූ වනාන්තර විනාශය සම්බන්ධ සිද්ධි
අනුරාධපුරය 448
බදුල්ල 215
මඩකලපුව 71
ගාල්ල 105
ගම්පහ 35
හම්බන්තොට 98
පුත්තලම 145
රත්නපුර 309
තී‍්‍රකුණාමලය 65
වවුනියාව 59
මුලතිව් 57
මොණරාගල 441
නුවරඑළිය 137
පොලොන්නරුව 66
කළුතර 101
කිලිනොච්චිය 23
කෑගල්ල 38
කුරුණෑගල 57
මාතර 96
මාතලේ 91
මහනුවර 53
එකතුව 2803

මෙම වනාන්තර විනාශය සම්බන්ධ මතු වූ බහුතරයක් සිද්ධි පිටුපස දේශපාලඥයන්, පොලීසිය හා හමුදාව සිටින අතර රජය මගින් සංවර්ධනයට යැයි කියා සිදුකරන විනාශයට අදාල සිද්ධීන් මෙයට ඇතුළත් වී නොමැත.

 මෙලෙස දැවැන්ත ලෙස පරිසරය විනාශ කරමින් යන මොහොතක මේ වන විට අධික ලෙස වනාන්තර විනාශ කරමින් ඇති අතර ඉදිරි සංවර්ධන කටයුතුවල දී ඉහත වානාන්තර තව තවත් විනාශ වන අතර 2030වන විට ලංකාවේ වනාන්තර ප‍්‍රතිශතය 10% ක් වන බව ඉහත පැහැදිලිව පෙනෙන්නට ඇත.

 ඒ අනුව දැනට ලංකාවේ සිටින සතුන් හා ශාක දැඩි ලෙස වඳ වී යාමේ අවධානමක් පවතින් අතර, අවේනික සතුන්ට මෙහි බරපතල අභියෝගයක් එල්ලවන නිසා ලංකාව දැනටමත් ජෛව විවිධත්ව උණුසුම් කලාපීය රටවල් 34 අතර එක් රටක් බවට පත් වී ඇත.

 2012 රතු දත්ත වාර්තාවට අනුව ලංකාවේ සත්ව හා ශාක  ගණන පහත පරිදි පෙන්වා දියහැකි අතර මෙම දැවැන්ත වනාන්තර විනාශය නිසා සියලූම සතුන් දැඩි අනතුරකට පත්ව ඇත.

සත්ව සංහතියට හා වනාන්තරවලට සිදුවන යම්කිසි හානියක් වේද එය සමස්ථ භූමියටත් එහි වෙසෙන සියලූදෙනාටත් බොහොම දරුණු ලෙස බලපානු ලබයි. උදාහරණයක් ලෙස මෙයට වසර 200 කට පෙර යුරෝපය පුරා ඇති වූ දැවැන්ත සංවර්ධනය අදවන විට ඇමරිකාව හා මුලූමහත් යුරෝපයම අර්බුදයකට ගෙන ගොස් ඇත. සංවර්ධනය නිසා වගා බිම් අහිමි වූවන් නිසා ආහාර නිෂ්පාදන හා ආහාර සුරක්‍ෂිතතාවය විනාශ කරගත් ඇමරිකාව එක් මසකට ආහාර නොමැති වීම නිසා 20,000 කුඩා දරුවන් මියැදෙන තැනට සංවර්ධනයේ පාරිසරික අර්බුදය උග‍්‍ර කරගෙන ඇත.

ඉන්දියාවේ පංජාබ් ප‍්‍රාන්තය මෙම සංවර්ධනය නිසා ඇති වූ අර්බුදයට හොඳම උදාහරණයකි. ගංගා පහේ භූමය ලෙස හදුන්වන පන්ජාබ් ප‍්‍රාන්තයේ, මන්දිගොබින්දගර්, ලූදියානා. අම්රීත් ගම්වල දැඩි උෂ්ණත්වය නිසා වගා කටයුතු කරගැනීමට නොහැකි  දිළිඳු ගොවියන් ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව ඇත. ඉංදියාවේ භෞතික සංවර්ධනයෙන් ඉන්දියානු සමාජය හා පරිසරය විනාශ වූවා සේම අද අප රට තුළත් එය එලෙස  සිදුවෙමින් පවතී.

ලංකාවට එම තත්ත්වය උදාවන්නේ වනාන්තර කපා බිම හෙළීම නිසා ඉහළ යන උණුසුම විසින් 2014වර්ෂයේ මිනිසුන්ට බීමට දියපොදක් නොමැති තැනකට ගංගා වියලී යනතෙක් සංවර්ධනය වේගවත් කිරීමෙනි. බීමට ජලය නොමැති සතා සිව්පාවා හා ජනතාව දැඩි අර්බුදයකට පැමිණ  ඇති අතර වර්ෂාව ලබාගැනීමට අවශ්‍ය නිසි වනාන්තර ප‍්‍රතිශතය අහිමිවීම තුළ හා වැසිවනාන්තර විනාශ කිරීම තුළ වර්ෂාව අඩු තත්ත්වයක් පෙන්නුම් කරන අතර එම තත්ත්වය ඉදිරි වසර කිහිපය පුරා ඉතා දරුණු තත්ත්වයකට හැරෙන බවට පෙර නිමිති සොබාදහම විසින් නිර්මාණය කර ඇත.

සත්ව වර්ගය විශේෂ ගණන අාවෙිණික විශේෂ
ක්‍ෂීරපායි 124  21
පක්‍ෂීන් 437 39
උරගයින් 209  125
උභයජීවීන් 111 95
මිරිදිය මසුන් 91  50
ශාක 3159  899

දැනට අනුරාධපුරය, පොලොන්නරුව, තී‍්‍රකුණාමලය, අම්පාර වැනි ප‍්‍රදේශවල දෛනික උෂ්ණත්වය සෙල්සියස් අංශක 36 දක්වා වැඩි වී ඇත. එම තත්ත්වය ඉදිරි වසරවල සෙල්සියස් අංශක  42 පමණ වුවහොත් වී ගොවිතැන කිරීමට පවා

වනාන්තරවල ප‍්‍රතිශතය අඩුවන විට කෘමිසතුන්ගේ ප‍්‍රතිශතය හා අනෙක් පරාගණය කරන සතුන් විශාල වශයෙන් විනාශ වී යයි. එය ආහාර නිෂ්පාදනය හා ආහාර සුරක්‍ෂිතතාවයට දැඩි බලපෑමක් එල්ල කරන කාරණයක් විය හැකි අතර වර්ථමනෙයේ ගස්වල ඵලදාව  අඩුවීම වීම මෙම කරණය වඩා තේරුම් ගැනීමට හොඳම උදාහරණයකි.

පරිසරය යනු හුදකලා එක් දෙයක් නොව මෙය පද්ධතියකි. එක් දෙයකට සිදුවන හානිය සමස්ථ පරිසර පද්ධතියටම බලපානු ලබයි. සංවර්ධනයේ මුවාවෙන් පරිසරය වැනසීමේ ප‍්‍රතිඵල සමස්ථ පරිසරය සියලූ ඒකකයන්ට අඩුපාඩුවක් නොමැතිව දැන් දැන් දැනෙන්නට පටන්ගෙන ඇත.

 ජෛව විවිධත්වය වැනසීයාම, ගංගා සිඳීයාම, වැව් මියැදීම, මහපොලොව මියදීම, වර්ෂාව අඩුවීම සතුන් හා ශාක වඳ වී යාම වැනි පරිසරය විනාශ වී යාමත්, මානව සමාජයේ විනාශයත් මෙම දැවැන්ත සංවර්ධනයේ ප‍්‍රතිඵලයන් ය.

 සොබාදහම දෙවියන් කරගත් සමාජයක වඩා ආර්ථික වාසි ලබා ගැනීමේ අරමුණෙන් වනාන්තර, පරිසරය හා මානව සමාජය උගසට තියා දළ දේශීය නිෂ්පාදනය ඉහළ දැමීමට උත්සාහ කරමින් සිටී. නිෂ්පාදනයක් නොමැති රටක දළ දේශීය නිෂ්පාදන ඉලක්කම් ඉහළ දැමිය හැක්කේ සොබාදහම විකිණීමෙන් පමණයි. අප රට තුළ ද අද සිදුවන්නේ එයයි.

නූතන රාජ්‍යයන් විසින් සංවර්ධනයේ දර්ශකයක් ලෙස (GDP) දළ දේශීය නිෂ්පාදනය ඉහළ යාම පෙන්වා දෙනු ලබයි. දළ දේශීය නිෂ්පාදනය යනු දෙවන ලෝක යුද්ධයෙ නිෂ්පාදනයකි.

(GDP) දළ දේශීය නිෂ්පාදන තුළින් සංවර්ධනය මනින රටවල වඩා සුරක්‍ෂිත මානව සමාජය හෝ පරිසරය නොව වෙළඳපොල ක‍්‍රමයයි. (GDP) අගය ඉහළ යන සෑම වාරයක් පාසා පරිසරයේ ගුණාත්මක භාවයත් මානව සමාජයේ වටිනාකමුත් සීඝ‍්‍ර ලෙස පහල බසිනු ලබයි. ඒ අනුව නූතන සංවර්ධනයේ සලකා බලන්නෙ වඩ වඩාත් ස්භාවික සම්පත් සුරාකමින් වෙළ,පොල ක‍්‍රමයට අනුව හැසිරෙන රටවල් සංවර්ධන රටවල් ලෙස හුවා දැක්වීමයි.

නමුත් සංවර්ධිතයැයි සැලකෙන දළ දේශීය නිෂ්පාදනය ඉහළ රටවල පවා පරිසරයත්, මානව සමාජයත් විනාශ වී ඇත. ආහාර නොමැති ජලය නොමැති ජෛව විවිධත්වය  සිදී ගිය හිස් වූ බිමී පමණක් එම සංවර්ධනයෙන් ඉතිරි කර ඇත.

නමුත් අප දන්නා කාරණය නම් පරිසර පද්ධතියත් ජෛව විවිධත්වයත් මානව සමාජයේ ජීවිත රක්‍ෂණයක් සේ ක‍්‍රියා කරන අතර සංවර්ධනයත් සමග පරිසරයේ හා සමාජයේ සුරක්‍ෂිතභාවය වියැකී යනවා ඇත.

ගණිකා වෘත්තිය හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත් එම වෙළඳාම නිසා එන ආදායමත් සංවර්ධනයේ මිනුම් දඬු ලෙස භාවිතයට  ගන්නා අතර අවසානයේ සත්ව සංහතියෙත් මානව සංහතියෙත් විනාශයත් පමණක්  ඉතිරි කරමින් බහුජාතක සමාගම් වලට ලාභය උපයා දීම  හා පිරිහුනු පරිසරයත් පිරිහුනු මිනිසුනුත් මෙම සංවර්ධන ප‍්‍රථිඵලයක් ලෙස ඉතිරි වනවා ඇත.

මෙලෙස ලෝකයේ විනාශකාරී සිදුවීම් ඇස් පනාපිට අත්දකිමින්, ලංකාව මේ වන විට ගමන් කරම්න් සිටින සංවර්ධන මාවත යනු ආසියාවේ ඓශ්චර්ය කරා කෙසේ වෙතත්, ආසියාව තවත් එක් අඳුරු අපි‍්‍රකාවක් කරායන බව නම් පැහැදිලිය

මහපොළව මත තිබූ විශ්වාසය අත්හරින ලද කිසිඳු රටක් හෝ බිමක් මේ වන තෙක් දේශපාලන හෝ ආර්ථික ජයග‍්‍රහනයන් අත්පත් කරගෙන නොමැත. එය ඇමෙරිකාව අත්කරගෙන ඇති විනාශයෙන් පෙනී යයි. ලංකාව වෙර දරන්නේත් එම විනාශයම පමණක් ඉතිරි කර ගැනීමටය.

රවින්ද්‍ර කාරියවසම්

පරිසර හා සොබාදහමි අධ්‍යයන මධ්‍යස්ථාන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *