FEATURES
ලෝක වැසි වනාන්තර දිනය අදයි

ලෝක වැසි වනාන්තර දිනය අදයි

වැසි වනාන්තර වල වටිනාකම පිළිබදව ජනතාව දැනුවත් කිරීම සඳහා ඇමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි වැසි වනාන්තර හවුල්කාරිත්වය මූලිකත්වය ගනිමින් මුල් වරට ලෝක වැසි වනාන්තර දිනය 2017 ජුනි මස 22 දින සමරනු ලැබීය. ඉන්පසු වාර්ශිකව සෑම වසරකම ජුනි 22 දින ලෝක වැසි වනාන්තර දිනය ලෙස ලෝකයේ බොහෝ රටවල් සමරනු ලබයි. මෙය ලෝකයේ වැසි වනාන්තර ආරක්ෂා කිරීම සඳහා දැනුවත් කිරීම සහ ක්‍රියාමාර්ග දිරිමත් කිරීමේ සාමූහික ප්‍රයත්නයක් ලෙස හැඳින්විය හැක.

මෙවර එහි තේමාව වන්නේ ‘අපේ වැසි වනාන්තර ආරක්ෂා කිරීම සඳහා ලෝකය සවිබල ගැන්වීම’ යන්නයි.
වනාන්තරවල වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම, ආරක්ෂාව, සංරක්ෂණය සඳහා වන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කිරීමට කැප වූ ගෝලීය සැමරීමක් ලෙස මෙම දිනය හඳුන්වනවා. ගෝලීය වශයෙන් ජෛව විවිධත්වය පවත්වා ගැනීම, දේශගුණික විපර්යාස අවම කිරීම සහ ලොව පුරා මිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ ජීවනෝපායට සහය වීම සඳහා වැසි වනාන්තර ඉටු කරන තීරණාත්මක කාර්යභාරය සිහිපත් කිරීමද මෙම දිනයේදී සිදු වනවා.

ලෝකයේ වැසි වනාන්තර

ලෝකයේ පැවැත්ම වෙනුවෙන් ඉතා විශාල සේවාවක් සපයන වැසි වනාන්තර දැනට ලොව පවතින පැරණිතම පරිසර පද්ධතියකි. නිගමනයන්ට අනුව ඇතැම් වැසි වනාන්තර වසර මිලියන 70 ක් 100 ක් පමණ පැරණි බව නිගමනය කර ඇත. වර්තමානය වනවිට පෘථිවියේ සමස්ථ ගොඩබිම් ප්‍රමාණයෙන් 6% ක් පමණ වැසි වනාන්තර වලින් ආවරණය වී ඇත. සමකය ආශ්‍රිතව ගොඩබිම් තීරයට ආසන්නව ව්‍යාප්තවී ඇති නිවර්තන වැසි වනාන්තර, ආසියාව, අප්‍රිකාව, දකුණු ඇමෙරිකාව, මධ්‍යම ඇමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අවට දූපත් වල පිහිටයි. මේවාට වාර්ෂිකව මි.මි. 1500 වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතර විශේෂිත වියළි කාලයන් දක්නට නොලැබේ.

වැසි වනාන්තර වල ඇති ප්‍රධාන ලක්ෂණයක් වනුයේ ස්ථරීයභවනය යි. වැසි වනාන්තරයක ශාක නෙරු ස්ථරය, වියන් ස්ථරය, යටි උප වියන් ස්තරය හා යටිරෝපණය වශයෙන් ප්‍රධාන ස්ථර 4 කට බෙදා දැක්විය හැක. මෙම එක් එක් ස්ථරයව අනන්‍ය වූ ශාක ප්‍රජාවක් හා සත්ත්ව ප්‍රජාවක් දැකගත හැක. වැසි වනාන්තර අතුරින් ලොව විශාලතම වනාන්තරය වන්නේ වර්ග කිලෝමීටර මිලියන 6.7 ක ප්‍රදේශයක් ආවරණය කරන දකුණු ඇමරිකාවේ පිහිටන ඇමේසන් වැසි වනාන්තරයයි. ලොව දෙවෙනියට විශාලතම වැසි වනාන්තරය වන්නේ වර්ග කිලෝමීටර මිලියන 2.8 ක් පමණ වන අප්‍රිකාණු මහද්වීපයේ පිහිටි කොංගෝ වනාන්තරයයි. හෙක්ටයාර මිලියන 28.2 ක් පමණ විශාල නිව්ගිනියානු වැසි වනාන්තර සහිත ප්‍රදේශය ලොව තෙවන විශාලතම වැසි වනාන්තරය ලෙස හැදින්වේ. මීට අමතරව ආසියානු මහද්වීපය පුරා ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය ආදී දකුණු ආසියාතික රටවලත්, මැලේසියාව, ජාවා, බෝර්නියෝ ආදී නැගෙනහිර රටවලත් ලාඕස්, වියටිනාමය, බෲනායි ආදි ගිණිකොන දිග ආසියාතික රටවලත් වැසි වනාන්තර විශාල වශයෙන් ව්‍යාප්තව ඇත.

ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර

ශ්‍රී ලංකාවේ ඇති විශාලතම වැසි වනාන්තර සිංහරාජ වැසි වනාන්තරයයි. 1988 දී යුනෙස්කෝව විසින් සිංහරාජ වැසි වනාන්තරය ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කරන ලදී. වර්තමානය වන විට සිංහරාජ වනාන්තරය හෙක්ටයාර 36,475ක් පමණ විශාලත්වයෙන් යුක්ත වේ, කන්නෙලිය, දෙදියගල සහ නාකියාදෙණිය වනාන්තර සංකීර්ණයට අයත් කන්නෙලිය වැසි වනාන්තරය 1934 කැලෑ ආඥාපනත යටතේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාළනය කරනු ලබන හෙක්ටයාර 5,305 ක පමණ විශාලත්වයකින් යුත් වනාන්තරයකි. ඉහතින් සඳහන් කල ප්‍රධාන වනාන්තරවලට අමතරව ශ්‍රී ලංකාවේ තෙත් කලාපය පුරා කුඩා වනාන්තර කැබලි විශාල ප්‍රමාණයක් වාර්ථාවන අතර ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල අගයක් ගන්නා මේ වනාන්තර කැබලි කිහිපයක් යෝජිත රක්ෂිත බවට පත් කර ඇතත් තවත් විශාල ප්‍රමාණයකට කිසිදු නීතිමය රැකවරණයක් ලැබී නැත. කණගාටුවට කරුනක් වන්නේ මෙවැනි වනාන්තර පද්ධති මෙතක් ආරක්ෂාවට ලක්වූ 5/2001 චක්‍රලේකය අහෝසි කිරීමත් සමග මෙම වනාන්තර වලට ඇතිවිය හැකි තර්ජන ඉහළ යාමට ඇති ඉඩ වැඩි වීමය.

ශ්‍රී ලංකාවේ ඇති වැසි වනාන්තර වල ජෛව විවිධත්වය

ශ්‍රී ලංකාවේ පවතින වැසි වනාන්තර වලද ස්ථරීයභවනය ඉතා හොදින් දැකිය හැක. මෙහි නෙරු ස්ථරය දක්වා වැඩෙන ශාක අතරින් තිනිය , නවඳ ,බෙරලිය දුන් දැක්විය හැක. වියන් ස්තරයේ වැඩෙන ශාක ලෙස බූ හොර , හොර දැක්විය හැක. පහල ස්ථරවල තපස්සර බුලත් , පිණි බරු , පේර තඹල වැනි ශාක වර්ධනය වේ. මීට අමතරව වේවැල් ,බාන් වැල් වැනි වැල් වර්ග, පාසි, උඩවැඩියා, ලයිකන ආදී විශේෂ මෙන්ම භෞමික උඩවැඩියා විශේෂ හා පර්ණාංග විශාල සංඛ්‍යාවක් වැසි වනාන්තර ආශ්‍රිතව හමුවේ. වැසි වනාන්තර වල සත්ත්ව විවිධත්වය ද ඉතා ඉහළ අගයක පවතී. අලියෙකුගේ සිට ඉතා කුඩා හික්මීයෙකු දක්වා ක්ෂීරපායී විවිධත්වයක් වැසි වනාන්තර ආශ්‍රිතව දැකගත හැක.

ශ්‍රී ලංකාවේ මාංශ භක්ෂක විශාලතම ක්ෂීරපායී විෂේශය වන කොටියාත් සත්‍ය පියෑඹීමක යෙදෙන එකම ක්ෂීරපායීන් කාණ්ඩය වන වවුලන්, වඳුරන්, උණහපුළුවන් වැනි ප්‍රයිමේටාවන් ශ්‍රී ලංකාවේ වැසි වනාන්තරවල දැකගත හැක. වැසි වනාන්තර හරහා ගමන් කරන දිය දහරාවන් මත්ස්‍යයන්ට ඉතා යෝග්‍ය නිවහනකි. විශේෂයෙන්ම වැසි වනාන්තර වල දිය දහරාවන් ඉතා පිරිසිඳු හා සිසිල් වීමත් හිරු එළිය අඩුවෙන් ලැබීමත් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිවිගෙවන මත්ස්‍යයන් වැඩි වශයෙන් වාර්ථා වන්නේ වැසි වනාන්තර ආශ්‍රිතවය. ආවේණික මත්ස්‍ය ගහණයද වැසි වනාන්තර වල ඉතා ඉහළ අගයක් ගනී. පරිසරයට ඉතා සංවේදී සත්ත්ව කොට්ඨාශයක් වන උභයජීවීන්, උරග විශේෂ ද වැසි වනාන්තරවල දිවි ගෙවනු ලබයි. පක්ෂී විවිධත්වය ගත් කල බොහෝ දුර්ලභ පක්ෂි විශේෂයන්ට වැසි වනාන්තර නිවහන සපයයි.

තර්ජන සහ සංරක්ෂණය.

දැව ලබාගැනීම සදහා වනාන්තර එළි පෙහෙලි කිරීම වනාන්තර වලට ඇති දැඩි තර්ජනයකි. විශේෂයෙන්ම වනාන්තර ආශ්‍රිත ගම්මාන වල දිවිගෙවන ජනතාව විසින් ශාක කපා දැමීම, දුර්ලභ ශාක විශේෂ වානිජමය අරමුණු සඳහා වනාන්තර වලින් ඉවත් කිරීම, වන සතුන් දඩයම, වනාන්තර එළිකරමින් සිදුකරන තේ වගාව, වනාන්තර හරහා ගලන දිය දහරා ආශ්‍රිතව ඉදිකරන ජල විදුලි බලාගාර, ජාන මංකොල්ලය, ලැව් ගිනි සහ ආක්‍රමණික ජීවීන් වර්ධනය වීම, තෙත් වනාන්තරවලට ඇති තර්ජන ලෙස දැක්විය හැක. මෙම වටිනා පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීමට සිදුකල යුතු මූලිකම කටයුත්ත වනුයේ ප්‍රජා දැනුවත් කිරීමයි. නෛතිකව කෙතෙකුත් ආරක්ෂාවන් ලබා දන්න ද ප්‍රජා දායකත්වයෙන් තොරව වනාන්තර ආරක්ෂා කිරීම
අපහසු කටයුත්තකි. මීට අමතරව වනාන්තර අවට ඇති ප්‍රදේශ හා හුදකලා වනාන්තර කැබලි රක්ෂිත බවට පත්කිරීම, වන වගා වැඩසටහන්, වනාන්තර ආශ්‍රිත පර්යේෂණ සිදුකිරීමත් වැසි වනාන්තර සංරක්ෂණය සඳහා මහඟු පිටිවහලකි.

(උපුටා ගැනීම – ශ්‍රී ලංකා තරුණ සත්ත්වවේදීන්ගේ සංගමය)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *