FEATURES
තෙත්බිම් වලට එන ත්‍රස්තවාදියෝ

තෙත්බිම් වලට එන ත්‍රස්තවාදියෝ

තෙත්බිම්වලට එන ත්‍රස්තවාදීන් තරමක් වෙනස්; නමුදු අනිත් ත්‍රස්තවාදීන් මෙන්ම විනාශකාරී බව, වේගයෙන් භූමිය ආක්‍රමණය කිරීම සහ ස්වදේශකයන්ට හානි පැමිණීම වැනි ගති ලක්ෂණවලින් නම් වියුක්ත නොවෙයි. එකදු වෙනස නම් මොවුන් මනුෂ්‍යයන් නොවීමයි. අප ඔවුන්ව ත්‍රස්තවාදීන් ලෙස නම් කළ ද විද්‍යාත්මක අර්ථකථනයේදී මොවුන් ආක්‍රමණශීලී ආගන්තුක විශේෂ (Invasive Alien Species) නමින් හඳුන්වනවා.

අද ලෝක තෙත් බිම් දිනයේ අප මොවුන් පිළිබඳ අවධානය යොමු කරනුයේ නුදුරේදීම තෙත් බිම්වල විනාශය ආක්‍රමණශීලී විශේෂ වලට තහවුරු කිරීමට ඇති ඉඩකඩ අවුරාලිය යුතු නිසයි.

තෙත්බිම් සම්මුතිය

1971 පෙබරවාරි මස දෙවන දින කැසිපියෙන් මුහුදේ වෙරළ තේරේ, රැම්සාර්හි සම්මත කළ “තෙත්බිම් සම්මුතිය” සිහිගන්වමින් සෑම වසරකම පාහේ පෙබරවාරී මස දෙවන දින ජගත් තෙත්බිම් දිනය සමරනවා. ලෝකයේ වැඩිම තෙත්බිම් පිහිටි ආසියාතිකරයේ කුඩා දූපතක් වන අප මව්බිම තුළ ජාත්‍යන්තරව වැදගත් රැම්සාර තෙත්බිම් හයක් ඇතුළුව තෙත්බිම් 41 ක් වාර්තා වෙනවා.

ලුණු මිශ්‍රත හෝ නැවුම් ජලයෙන් ස්ථිර ලෙස හෝ ඍතුමය වශයෙන් ජලයෙන් වැසී තිබෙන ස්ථාන තෙත්බිම් ලෙස හඳුන්වනවා. තෙත්බිම් සුවිශේෂී වනුයේ එකිනෙකින් වෙනස් පරිසර පද්ධතියක් ලෙසින් ක්‍රියා කිරීම නිසයි. එයට හේතුව තෙත්බිමක් තුළ ජීවත් වන ජීවීන්ගේ ඇති විශාල විවිධත්වයයි. ශාක ජීවීන්ගේ සිට ජලජ, උභයජීවී, පක්ෂීන් ඇතුළු විශේෂ විශාල ප්‍රමාණයක් තෙත්බිම් පරිසර පද්ධතියක් තුළ ජීවත් වෙනවා.

ශ්‍රී ලංකාවේ තෙත්බිම් ප්‍රමාණය 45 ක්

ආසියානු තෙත්බිම් නාමාවලියට අනුව ලංකාවේ භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 274,000 ක් පමණ තෙත්බිම්වලට හිමිකම් කියනවා. අද දිනයේ හඳුන්වා දීමට නියමිත තෙත්බිම් කලාප හතර ද ඇතුළුව ගත්කල ශ්‍රී ලංකාවේ සමස්ත තෙත්බිම් ප්‍රමාණය 45ක් දක්වා ඉහළට යනවා. නමුත් මේ සෑම තෙත්බිමක්ම මුහුණපාන ප්‍රධාන ගැටලු අතර මානව ක්‍රියාකාරකම්, සංවර්ධන ව්‍යාපෘති, ආක්‍රමණශීලී විශේෂ වල පැතිරීම නම්කළ හැකියි. මෙහිලා අවධානය යොමු කරන්නේ ආක්‍රමණශීලී ආගන්තුක විශේෂවල බලපෑම පිළිබඳවයි.

තෙත්බිම් වසාගත් ආක්‍රමණශීලී විශේෂ පරිසර පද්ධතියේ සමතුලිතතාව බිද වැටීමට හේතුවක්

අප කළ අධ්‍යයනයන්ට අනුව ලංකාවේ බොහෝ තෙත්බිම් තුළ ජපන් ජබර (Eichhornia crassipes) සෙල්වේනියා (Salvania), වෙඩේලියා (Sphagneticola trilobata) , දිය ගෝවා (Pistia stratiotes) වැනි ශාක ද ඇලිගේටර් ගාර් (Alligator gar), මන්නයා (Chitala ornata) වැනි ආක්‍රමණශීලී මත්ස්‍ය විශේෂ ද පැතිරී අවසන්. මේ වන විට සංඛ්‍යාත්මකව ගත්කළ බොහෝ ආක්‍රමණික විශේෂ ලංකාවෙන් වාර්තා වන බවත්, 2016 වසරෙන් පසු මේ වනතුරුත් මෙරට ආක්‍රමණශීලී විශේෂ ලැයිස්තුව යාවත්කාලීන වී නැති බවත් පරිසර විශේෂඥයන් පෙන්වා දෙනවා.

මෙම ආක්‍රමණශීලි විශේෂවල ව්‍යාප්තිය ඉතා වේගවත්. එබැවින් දේශීය විශේෂ වලට තර්ජනයක් වීමේ විභවය ද ඉතා විශාලයි. ආක්‍රමණික ජලජ ශාක වල බෝවීම කාලයත් සමඟ තෙත් බිම් මුඩුබිම් බවට පත් කරනවා. එසේම සත්ත්ව විශේෂ වල පැතිරීම දේශීය විශේෂ වඳ වීම, පරිසර පද්ධතියේ සමතුලිතතාව බිද වැටීමට හේතු වෙනවා.

ලංකාවේ තෙත්බිම් පරිසර පද්ධති සැලකීමේදී එහි අතීතයේ බුද්ධ වර්ෂ කාලයන් දක්වා දිවෙනවා. අතීත වාරිමාර්ග පද්ධතිය ඊට හොඳම සාක්ෂියයි. ඕළු (Nymphaea Lotus) , නෙළුම් (Nelumbo nucifera) , නිල් මානෙල් (Nymphaea nauchali), පන් වැනි ශාක විශේෂ එහිලා පැවති දේශීය, අවේනික විශේෂයි. මෑත කාලීන ආනයනික ක්‍රමවේද ඔස්සේ ආගන්තුක ජලජ ශාක ලංකාවට පැමිණෙනවා.

පරිසරවේදි, නීතීඥ ජගත් ගුණවර්ධන මහතා

‘‘ආක්‍රමනශීලී ආගන්තුක විශේශ පිලිඹඳ ජාතික ප්‍රතිපත්තියට අනුව යම් නව ශාක හෝ සත්ව විශේෂයක් මෙරටට ආනයනය කිරීමට ප්‍රථමයෙන් ඒ පිළිඹඳව පාරිසරික අවදානම් තක්සේරුවක් සිදුකර එහි ප්‍රතිඵල මත එම ආනයනයට ඉඩ දිය යුතුද නැද්ද යන්න තීරනය කළ යුතු බවත්,එම වාර්තා සමාලෝචනය කිරීම පරිසර අමාත්‍යාංශයේ තිබෙන ආක්‍රමනශීලී ආගන්තුක විශේෂ පිළිඹඳ විද්වත් කමිටුව මගින් සිදු කිරීමට නියමිත කටයුත්තක්. නමුත්,ජලජ ශාක පිළිබඳ තත්වය මීට වඩා වෙනස්‍ වන්නෙකි.ඊට හේතු වන්නේ මෙරටට කිසිඳු ජලජ ශාකයක් ආනයනය කිරීම ශාක ආරක්ශක පනතේ 12 වගන්තිය යටතේ තිබෙන 1981.11.02 දිනැති අංක 65/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත නියෝගයක් මගින් මුලුමනින්ම තහනම් කර තිබීම වේ. ඒ අනුව, මේ දශක හතරකට ආසන්න කාලයක් පුරා ආනයනය කෙරුනු ජලජ ශාක සියල්ල නීතීය උල්ලංඝනය කරමින් ආනයනය කර තිබෙනවා‘‘

එසේනම් සැබෑ ත්‍රස්තවාදීන් කවුරුන්ද?

තෙත් බිම් වලට මෙම ව්‍යසනය අත්කරදුන්නේ ලාභ ඉපයීම අරමුණු කරගත් ජලජ ජීවීන් ආනයනය කරන ව්‍යාපාරික ප්‍රජාවත්, නොදැනුවත්කමින් ආගන්තුක ශාක ස්වභාවික පරිසරයට මුදා හරින රටවැසියාත්, නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකරන නිලධාරි මහත්වරුත්ය. 2024 ජගත් තෙත්බිම් දිනයේ තේමාව “තෙත්බිම් සහ මානව යහපැවැත්මයි”. මානව සංහතියේ යහපැවැත්ම උදෙසා තෙත්බිම් වල කැපකිරීම අති මහත්ය.

විශාලම කාබන් සංචිත බවට පත්වෙමින් දේශගුණික විපර්යාසයේ ගැලවුම්කරු බවට පත්වීමට තෙත්බිම් වලට ශක්‍යතාව පවතී. ඇසට නොපෙනෙන ප්‍රාණියාගේ සිට ජීවී අජීවී බොහෝ කොට්ඨාස වල ජීවතය දරා සිටින්නට ද තෙත්බිම් වලට හැකිවී තිබෙනවා. ඉන් ද නොනැවතී මනුෂ්‍ය ජීවනෝපාය තහවුරු කිරීමේ ලාද, සාමාජීය සංස්කෘතික පැවැත්ම තහවුරු කිරීමේලා ද භාරදූර කර්තව්‍යයක් ඉටු කරයි. අනාගත පරම්පරාව තියා අප අපගේ හුස්ම පොද රැකීම උදෙසාද තෙත් බිම් රැක ගැනීමේ කාලය උදා වී තියෙනවා. එය ඔබට සංවේගයෙන් වුවද දැනුම් දීමට සිදුවෙනවා. වගකිවයුතු පුරවැසියන් ලෙස ආගන්තුක විශේෂ මව්බිමට රැගෙන ඒම නවතමු. ඔබව ජීවත් කරවන තෙත්බිම් ඔබත් ජීවත් කරවන්න, මියැදෙන්නට නොදී.

සටහන – සිළිලා සඳවලා
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *