ISSUES
ජාතික භෞතික සැලැස්ම හේතුවෙන් ලංකාවේ දිනකට වනාන්තර අක්කර 65 ක් විනාශයට

ජාතික භෞතික සැලැස්ම හේතුවෙන් ලංකාවේ දිනකට වනාන්තර අක්කර 65 ක් විනාශයට

ජාතික භෞතික සැලැස්ම හේතුවෙන් ලංකාවේ දිනකට වනාන්තර අක්කර 65 ක් පමණ විනාශ වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පැවැසීය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මේ වනවිට සිදුවන මහාපරිමාණ පරිසරය විනාශයන් සහ ඉඩම් මංකොල්ලයන් සිදුවන්නේ ආණ්ඩුව සකසා ඇති 2011 – 2048 ජාතික භෞතික සැලැස්මට අනුව බවත් පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සදහන් කළේය.

රජය මේ බව සඟවාගෙන තැනින් තැන පරිසර විනාශයන් ඔප් නංවමින් මහ සැලැස්ම සඟවමින් සිටින බවද පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා අවධාරණය කළේය.

අද (17 ) එන්. එම්. පෙරේරා ආයතනයේ දී, පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී ඔහු මේ බව අනාවරණය කළේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවේදී පරිසරවේදී කාරියමඩිත්තේ ඥාණාරාම හිමි මෙසේ පැවසූහ.

 ''ජාතික භෞතික සැලැස්මට අනුව අධිවේගී මාර්ග ජාලයක් ලංකාව පුරා ඉදිවනවා. මෙම අධිවේගී මාර්ග ජාලය ආසියානු අධිවේගී මාර්ග ජාලයට එක් කිරීමට නියමිතයි.                                    

අධිවේගී මාර්ග පද්ධතිය නිර්මාණය වීමත් සමඟ ලංකාවේ වනාන්තර සියල්ලම මෙම අධිවේගී මාර්ග ජාලයට ආවරණය වීම සිදු වෙනවා.

ඒ වගේම ජාතික භෞතික සැලැස්ම හරහා ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන 39 ක් ආවරණය වීම සිදු වන අතර ඒ හරහා ලංකාවේ වනාන්තර ප්‍රතිශතය ද අඩු වෙනවා. මේ නිසා, දේශගුණික විපර්යාස පවා සිදුවීමට හැකියි.

කැළණි , කළු, බෙන්ත, නිල්වලා යන ගංගා නිම්න හරහා මෙම අධිවේගී මාර්ග නිර්මාණය වීම හේතුවෙන්, මේ හේතුවෙන් ඒ අවට වාසය කරන ජනතාවට ගං වතුර, ජලගැලීම් වලට මුහුණ දීමට සිදුවී ඇති අතර ගොවීන්ට වගා බිම් අතහැර දැමීමට සිදුවී තිබෙනවා.”

ජාතික භෞතික සැලැස්ම

ජාතික භෞතික සැලැස්ම නමින් සැලසුමක් පළමුවරට ඉදිරිපත් කෙරුණේ 2011 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේය. එහිදී 2011 – 2030 ඉලක්ක කරගනිමින් එය සකස් කෙරිණි.

එහෙත් පසුව බලයට පත් වුණු යහපාලන රජය එම සැලැස්මේ තිබූ යල්පැනගිය ජාතික සහ ජාත්‍යන්තර සංවර්ධන කාරණා ඉවත් කරමින් යළිත් 2017 වසරේදී එය යාවත්කාලීන කිරිමට කටයුතු යොදන බව පැවසීය.

ඒ අනුව 2018 – 2050 වන ලෙස අලුතින් සැකසූ මෙම ජාතික භෞතික සැලැස්ම වෙත 2017 වසරේදී කැබිනට් අනුමැතිය හිමි විය. මහා නගර අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වූයේ එම සැලසුමයි.

නැවත යාවත්කාලීන කරන ලද ”ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම 2048” 2023.06.17 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.

ජාතික භෞතික සැලැසුමට අනුව ප්‍රධාන මහ නගර 5 ක්

ජාතික භෞතික සැලැසුමට අනුව ප්‍රධාන මහ නගර 5 ක් Metro Region නමින් සකස් කර තිබේ.

එනම් උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ හා බස්නාහිර වශයෙනි. එම මහ නගර පහ සම්බන්ධ කිරීම සඳහා අධිවේගී මාර්ග ජාලයක් ස්ථාපිත කරන අතර එය මන්නාරම ආදම් ගේ පාලම ඔස්සේ ඉන්දියාවේ ධනුෂ්කොඩි හරහා ආසියානු අධිවේගී මාර්ග ජාලයට සම්බන්ධ කිරීමට සැලැසුම් කර තිබේ.

මීට අමතර ව ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන්තොටුපොළ, බලශක්ති බලාගාර, විශේෂ උප නගර, මහ පරිමාණ සංචාරක කලාප, කර්මාන්ත හා අපනයන සැලසුම් කලාප බිහි කිරීමට සැලැසුම් කර තිබේ. මීට අමතර ව උතුරු, උතුරු මැද, ඌව හා නැගෙනහිර පළාත් ආවරණය වන පරිදි මහ පරිමාණ වාණිජ කෘෂිකාර්මික කලාප ඇති කිරීමට සැලැසුම් කර තිබේ.

කෙසේ නමුත් 2018 – 2050 ජාතික භෞතික සැලැසුම සැලැසුමට අනුව පළමු සැලැසුමේ සඳහන් මහ නගර කලාප පුළුල් කර අලුතින් අධිවේගී මාර්ග එක් කර ඇත. උතුරු මහ නගරය යාපනය අර්ධද්වීපයේ සිට කිලිනොච්චිය දක්වා පුළුල් කර ඇත.

උතුරු මැද මහ නගරය ත්‍රිකුණාමලයේ සිට බස්නාහිර පළාත දක්වා පුළුල් කර තිබේ. නැගෙනහිර මහ නගරය සියඹලාණ්ඩුව දක්වා ද දකුණු මහ නගරය අම්බලන්ගොඩ දක්වා ද පුළුල් කර ඇත. අනුරාධපුරය හා මහනුවර අලුතින් මහ නගර දෙකක් සැලැසුම් කර තිබේ.

2048 ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය ප්‍රධාන සංරචක හතරකින් සමන්විත වේ.

  1. සංවේදි හා සුවිශේෂි පාරිසරික ප්‍රදේශ සංරක්ෂණය කිරීම: සියලුම සංවර්ධන කටයුතුවල දී අනන්‍ය හා සංවේදි පාරිසරික පිහිටීම් (ජල සම්පත, ස්වභාවික පරිසර පද්ධති හා භූ දර්ශන) වල සංරක්ෂණය හා එහි තිරසරභාවය සහතික කිරීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගැනීම.
  2. මිනිසුන් සහ අනෙකුත් ජීවීන්ගේ වාසය සඳහා හිතකර භෞතික පරිසරයක් නිර්මාණය: මානව ජනාවාස සැලසුම් කිරීමේ දී හිතකර දේශගුණික තත්ත්වයන්, ආපදාවලින් ආරක්ෂිත, මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අත්‍යවශ්‍ය සේවා සහ සම්පත් ලබා ගැනීමේ හැකියාව අනුව මිනිස් වාසයට වඩාත් සුදුසු පරිසරයන් තෝරා ගැනීම.
  3. පවතින සම්පත් හා පහසුකම් ප්‍රශස්ත ලෙස භාවිතය/උපයෝජනය: ආර්ථික ගැටළු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ප්‍රකාශ කරන ලද තිරසාර සංවර්ධන ඉලක්ක ඉටුකර ගැනීම යන කරුණු සැලකිල්ලට ගනිමින්, අනාගත සංවර්ධන ක්‍රියාකාරකම්වල දී සම්පූර්ණයෙන්ම නව ව්‍යාපෘතිවල කෙරෙහි නැඹුරු නොවි, පවතින සම්පත් හා යටිතල පහසුකම් ප්‍රශස්ත ලෙස උපයෝගි කර ගැනීමට වැඩි අවධානයක් යොමු කිරීම.
  4. විභව සම්පත් ගවේෂණය හා භාවිතයන් වැඩි දියුණුව: විවිධ හැකියාවන්ගෙන් හා අධ්‍යාපන මට්ටම්වලින් යුතු මානව සම්පතක් පිහිටි ප්‍රදේශ, ස්වභාවික සම්පත් සංචිත, දර්ශනීය පිහිටීම් වැනි අනෙකුත් සම්පත් ඇති ප්‍රදේශ සහ විවිධාංගිකරණය වූ සංවර්ධනයක් සඳහා තරගකාරි වාසියක් ලබාගත හැකි ස්ථාන ගවේෂණය කිරිමට අවධානය යොමු කිරිම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *