FEATURES
ගැලූ විට මතක්වන ගංවතුර

ගැලූ විට මතක්වන ගංවතුර

රටපුරා ඇතිවී තිබෙන ආපදා තත්ත්වය නිසා බොහෝ දෙනෙකුගේ දේපල උන්හිටි තැන් අහිමි වී ඇත. පසුගිය වසර 10 අධ්‍යයනය කර බලන විට සෑම වසර දෙකකට වරක්ම මහා ගංවතුර තත්ත්වයක් රට පුරා ඇති වී ඇත.

මීට වසර කිහිපයකට පෙර මීරියබැද්ද නාය ගොස් මිනිස් ජීවිත ගණනාවක් විනාශ විය. එමෙන්ම අරණායක නාය යෑම ඇතුළු විශාල නායයෑම් වලින් මිනිස් ජීවිත මෙන්ම දේපළ ද විනාශ විය. ඒ ඒ අවස්ථාවල මෙය දේශගුණික විපර්යාස විසින් ඇති කරන තත්ත්වයක් නිසා රජයට හෝ වෙනත් ආයතනවලට එහි වගකීම ගැනීමට නොහැකි බව එවකට පාලකයන් පවසා සිටියේය.

දේශගුණික විපර්යාස නිසා යම්කිසි වර්ෂාව ලැබෙන ප්‍රමාණයේ හා වර්ෂාව ලැබෙන කාලයන්ගේ වෙනස් වීමක් සිදු වී තිබෙන බව සත්‍යයකි. නමුත් මෙම විපරීතකාරී තත්ත්වය මෙරට සිදුවූ මහා සංවර්ධනය යැයි කියන පාරිසරික විනාශය සමඟ සෘජුවම සම්බන්ධය.

රට තුළ ඇති ගංඟා නිම්න 103 පසුගිය කාලය පුරා සිදු වූ යළි පුබුදමු ශ්‍රීලංකා සංවර්ධන වැඩසටහනටත්, ජාතික භෞතික සැලසුම නැමැති සංවර්ධන විනාශයටත් හසුවිය. ඒ අනුව මධ්‍යම කඳුකරයේ සිට මුහුද දක්වා ජලය ගලා ගලාගෙන යන බොහෝ ජල ජලමාර්ග අවහිර වී ඇත.

ගංඟා දෙපස ඇති ගංවතුර පාලනය කළ හැකි ,පහත්බිම්,වගුරු භූමි බහුතරයක් මේ වන විට ගොඩ කර හමාරය. උදාහරණයක් ලෙස 2009 න් පසු දියවන්නාව අවට තිබූ විශාල වගුරු බිම් ගොඩකර දියත උයන වැනි ස්ථාන නිර්මාණය කරන ලදී.කොළඹ ගංවතුර තත්ත්වයට මෙය ප්‍රධාන හේතුවකි.

එමෙන්ම කටුනායක කොළඹ අධිවේගී මාර්ගය කැලණි ගඟේ ජලය බැස යන ප්‍රදේශ මුතුරාජවෙල වගුරු භූමියත් ඛණ්ඩන කරන ලදී.

ඒ අනුව ජාඇල වත්තල ඒකල,කඩුවෙල , ඇතුළු ප්‍රදේශ සුළු වර්ෂාවකදී පවා යට වීමට පටන්ගෙන ඇත. කොළඹ සිට මාතර දක්වා ඉදිවූ අධිවේගී මාර්ගය නිසා කැළණි ගඟ, කළු ගඟ, නිල්වලා ගඟ ඇතුළු ප්‍රධාන ගංගාවල ජලය බැස යන බිම් අවහිර වී ඇත. එම නිසා මෙම අධිවේගී මාර්ගයෙන් අවහිර වී ඇති ප්‍රදේශ සියල්ල සුළු වර්ෂාවකදී වුවත් ගංවතුරෙන් යට වීමට පටන්ගෙන ඇත.

කොළඹ සිට කුරුණෑගල දක්වා ඉදි වූ අධිවේගී මාර්ගය මා ඔය, මගුරු ඔය, ඇතුළු ප්‍රධාන ජල ධාරාවන් කිහිපයක් අවහිර කර ඇති අතර එම ප්‍රදේශ වලට ඇතිවෙන ගංවතුර තත්ත්වයන්ට මෙම මාර්ගය තුළ සංවර්ධනය සෘජු ලෙස බලපා ඇත.

ගංඟා පරිසර පද්ධතියක් ගැන අවබෝධ කරගත් විට මේ ගංවතුර ඇති වෙන්නේ කුමන හේතුවක් නිසාද යන්න ඉතාමත් පැහැදිලි කාරණයකි.

අප දකින ගංඟාවක ගලන ජලය මෙන් තුන් ගුණයක් ජලය ගඟ දෙපස ඇති ඉවුරු ආසන්නයේ පිහිටා ඇති (pools and riffles) කුඩා පොකුණු හා දිය කඳුරු වල ගබඩා වී ඇත.

වර්ෂා කාලයේ දී ගංගා අවට ඇති කුඩා පොකුණු හා දිය කදුරු ජලය ගබඩා කර ගන්නා අතර වියළි කාලයේදී එම ජලය ගංගා තුළට මුදා හරිනු ලබයි. ලංකාවේ ඇති ගංගා 103 ඒම සැලකිය යුතු ලෙස මෙම කුඩා පොකුණු හා දිය කදුරු විනාශ වී ඇත.

දිය කදුරු හා කුඩා පොකුණු මත ඉදි වී ඇති මාර්ග, බිල්ඩින්, හෝටල් විසින් ජලය රඳවා ගැනීමට මෙම සුවිශේෂී පරිසර පද්ධති අවහිර කර ඇති අතර වර්ෂාව වැටෙන විට එම ජලය ගබඩා වීමකින් තොරව පහළට ඇද ගෙන හැලේ.

මධ්‍යම කඳුකරයේ ගංවතුර තත්ත්වයක් නිර්මාණය වීමට මෙය ප්‍රබල ලෙස බලපාන කාරණයක් වන අතර මහා වර්ෂාවකින් සති කිහිපයකට පසු විශාල ලෙස ගංඟාවල ජලය අඩු වීමටත් මෙය බරපතළ ලෙස බලපානු ලබයි. උදාහරණයක් ලෙස පසුගිය කාලයේ අප විසින් කැලණි ගඟ අවට කරන ලද අධ්‍යයනයකට අනුව කැලණි ගඟ ආරම්භයේ සිටම අවසානය දක්වා විශාල වශයෙන් කැලණි ගඟේ කුඩා පොකුණු හා දිය කදුරු අවහිර වී ඇති අයුරු අධ්‍යයනය කර එය පර්යේෂණ වාර්තාවක් ලෙස ඉදිරිපත් කරන ලදී.

තිළිණ සූරසිංහ , රවීන්ද්‍ර කාරියවසම් , හිරන්යා සුදසිංහ සහ සමීර සුරංජන් යන පර්යේෂණ කණ්ඩායම විසින් ”challenges in Biodiversity conservation in a Highly Modified Tropical River Basin in Sri Lanka” ලෙස ස්විස්ටලන්තයේ MDPI පර්යේෂණ සඟරාවේ ගංඟා පරිසර පද්ධති විනාශ වීම නිසා ජෛව විවිධත්වයට ඇතිවිය හැකි හානි පවා පෙන්වා දුන්නේ ය.

මධ්‍යම කඳුකරය ජල ගබඩාවක් ලෙස ඉතාමත් සියුම් ලෙස ආරක්ෂා කළ යුතු මේ රට ඉතාමත් සංවේදී පරිසර කලාපයකි. 1970. 03.12 වන දින කොළඹ හයිඩ් පිටියේදී මෙරට ආන්දෝලනාත්මක දේශපාලඥයෙකු ලෙස කටයුතු කළ රෝහණ විජේවීර විසින් අඩි 5000 වැඩි කඳුකර ප්‍රදේශ වනාන්තර බවට පත් කළ පත්කළ යුතු බවට යෝජනාවක් කළ අතර ඉදිරියේ සිදුවන පාරිසරික හා ජන සංහාර නවතා ගැනීමට එය රුකුලක් වන බව ඔහු ප්‍රකාශ කර සිටියේය.

මෙහි සත්‍යතාවයක් ඇත. පිදුරුතලාගල,කිරිගල්පොත්ත,තොටුපල කන්ද,අග්‍රා බෝපත්,රම්බොඩ කඳුවැටිය,කොටියාගල,සමනල කඳුවැටිය,කිකිළි මාන,පට්ටිපොල කඳුවැටිය,හග්ගල,උඩ රදැල්ල,නමුණුකුල,නකල්ස් කඳු වැටි, දෙගල් හින්න,වැනි මධ්‍යම කඳුකරයේ විශාල කඳු වැටි වනාන්තර ලෙස ආරක්ෂා කළ යුතුව තිබිණි.

අඩි 5000ට වැඩි බොහෝ වනාන්තර සංවර්ධන කටයුතු සඳහා පසුගිය කාලය පුරා විනාශ කරන ලදී, උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය බණ්ඩාරවෙල ආසන්නයේ කදුකර ප්‍රදේශ භාවිතා කළ අතර එමඟින් එහි ජල ගබඩාව විනාශ වී ගියේය.

අඩි 5000ට වැඩි බොහෝ ප්‍රදේශවල වනාන්තර පද්ධතිය එළි පෙහෙලි කළ අතර පිදුරුතලාගල පවා විශාල වශයෙන් වනාන්තර විනාශ කිරීම සිදුවිය. ජල ගබඩාවක් ලෙස ආරක්ෂා විය යුතු ප්‍රදේශ විනාශ වීම නිසා සුළු වර්ෂාවකදී පවා ජලය රඳවා තබා ගැනීමට හැකි පරිසර පද්ධතිය විනාශ වීම නිසා ලැබෙන සුළු වැස්සෙන් පවා ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි අතර මධ්‍යම කඳුකරයේ ජලය රඳවා නොගෙන වර්ෂාවත් සමග ඒවා පහත් බිම් බිම් වලට ක්ෂණික මුදා හැරෙනු ලබයි. මෙම ඇතිවී ඇති විනාශකාරී තත්ත්වයට එය ද හේතුවක් වී ඇත.

සංවර්ධනය සහ පරිසරය සංරක්ෂණය එක විටෙක සිදුවිය යුතු බව සංවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර එකඟතාවයේ පෙන්වා දෙන අතර සංවර්ධනයේ ප්‍රතිලාභ එක් කාණ්ඩයකට පමණක් නොව ජන සමාජය හා පරිසරය අතර සමව බෙදී යා යුතු බව එහි තවදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව මිනිසාගේ සැබෑ අවශ්‍යතාවය සපුරාලීම පරිසරය භාවිතා කළ හැකි අතර සංවර්ධන ව්‍යාපෘති පෙන්වා ලෝකයෙන් ණය ගැනීම උදෙසා සොබාදහම විනාශ කිරීම සදාචාරාත්මක නොවන ක්‍රියාවලියකි.

එසේ සිදු වූ සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ලාංකීය ජනතාව මෙන්ම පරිසර පද්ධතිය ද විශාල අවදානමකට පැමිණ ඇත.

පරිසරවේදී ආචාර්ය රවින්ද්‍ර කාරියවසම්
( පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය)

Leave a Reply

Your email address will not be published.