රිලාගල යාය වනසන MAGA කොම්පැනියෙන් පරිසරවේදීන්ට තර්ජන

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිරි වැඩ කටයුතු සඳහා අවශ්‍ය ගල් ලබාගැනීම වෙනුවෙන් බෙලිඅත්ත රිලාගල යාය කඳුවැටිය බිල්ලට දීම සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව පුරා දිගින් දිගටම විරෝධතා එල්ල විය. එම විරෝධතා මෙහෙයවීම සිදුකළේ එම කඳුවැටිය හා පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් පිහිටුවා ගත් රිලාගල යාය සුරැකීමේ එකමුතුව සහ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය නියෝජනය කරන පරිසරවේදීන් ඇතුළු පිරිසකි.
මෙම සංවිධාන පසුගිය කාලයේදී මාධ්‍ය හමු, පෝස්ටර් ව්‍යාපාර, පත්‍රිකා බෙදීම්, විරෝධතා ව්‍යාපාර ආදිය සිදු කරමින් එම පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීමේ උත්සාහයක නිරත විය. මේ සඳහා විවිධ පුද්ගලයන්ගේ බාධා එල්ල වූ අතර පරිසරවේදීන් එම සියලු බාධා ඉවසමින් සිය කාර්යභාරය ඉටු කළේය.

මේ දිනවල රිලාගල යාය සුරැකීමේ එකමුතුව හා පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය එක්ව, අදාල ප්‍රදේශයේ ජනතාව මෙම පරිසර හානිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අරමුණින් වීදි නාට්‍ය සන්දර්ශන කිහිපයක් පවත්වමින් සිටී.

අද දින තැන්නපල්ල විසුද්ධාරාමයේ එක් වීදි නාට්‍ය සන්දර්ශනයක් සංවිධානය කර තිබූ අතර ඒ එම විහාරස්ථ දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හා ප්‍රදේශවාසීන්, මෙම පරිසර හානිය හා එයින් ලැබෙන ප්‍රතිවිපාක සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහාය.

මෙම වීදිනාට්‍ය සන්දර්ශනය පැවැත්වෙමින් තිබියදී මැර පිරිසක් විහාරස්ථානයට කඩාවැදී තර්ජනය කරමින්, ඵරුෂ වචනයෙන් බැනවදිමින් තමන්ට බාධා කළ බව පරිසර හා සොබාදහම් මධ්‍යස්ථානය නියෝජනය කරන පරිසරවේදී වෑකඳවල රාහුල හිමි පවසයි.

සිව් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණ පළමුව විහාරාධිපති හිමියන්ට තර්ජනය කළ බවත් වීදි නාට්‍යය සඳහා එක්ව සිටි පිරිසට හා දහම් පාසල් ළමුන්ට ඵරුෂ වචනයෙන් බැනවැදී තිබේ. වෑකඳවල රාහුල හිමි පෙන්වා දෙන්නේ මෙම පිරිස රිලාගල යාය වැනසීමට සම්බන්ධ කොම්පැනියේ අවශ්‍යතා මත කටයුතු කරන මැර පිරිසක් බවයි. කෙසේ වෙතත් කුමන බාධා පැමිණියද කෙතරම් තර්ජන එල්ල වුවද පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය හා රිලාගල යාය සුරැකීමේ එකමුතුව ගෙනයන වැඩපිළිවෙල නතර නොකරන බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *