ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට…

monsanto-9-crop-678x381

එදා මෙදා තුළ ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය වූයේ බත් ය. අපගේ ලේඛන ගත ඉතිහාසය දෙස අවදානය යොමු කිරීමේදී ප්‍රධාන ආහාරය වශයෙන් සහල් වලට සුවිශිෂ්ට තැනක් හිමි වේ. විජයාගමනයත් සමග විජය කුමරුට හා පිරිවර 700 දෙනාට කුවේණිය බත් සහ සූපයක් පිලිගැන්වූ බව මහාවංශයේ සදහන් වේ. එපමණක් නොව ලංකාවේ වී වර්ග රාශියක් පැවති බව එදා හෙළදිව තුළින් රොබට් නොක්ස් දක්වන්නේ මෙසේය.

“ සිංහලයන් හට බොහෝ ධාන්‍ය වර්ග ඇතත් ඒවා අපේ ධාන්‍ය වලට බෙහෙවින් වෙනස්‍ ය. මෙම ධාන්‍ය අතුරෙහි අග්‍රගණ්‍ය වූ ධාන්‍ය වනාහී වී ය. වී පැසීමට යන කාල වේලාව අනුව වර්ග වී ඇති වී වර්ග බොහෝය. එහෙත් රස වශයෙන් එම විවිධ වී වර්ග අතර විශේෂ වෙනසක් නැත්තේය. ලංකාවේ එක් වී වර්ගයක් පැසීමට සත් මසක් ගතවේ. මෙයට මා වී යැයි ව්‍යවහාර කරනු ලැබේ. තවත් වී වර්ගයක් පැසීමට සමසක් ගත වේ. ඒ භාතියල් නම් වේ. තවත් වී වර්ගයක් පස්මසින් පැසෙයි. එය ගොඩරවාල නම් වේ. සතර මසකින් පැසෙන වී වර්ග හීනටි නම් වන අතර තුන් මසකින් පැසෙන වී වර්ගය කුදු වෙයි. එයට ඇල් පත් කල් යැයි කියනු ලැබේ. “

එමෙන්ම සහල් යොදාගෙන විවිධ ආහාර වර්ගද පිසියි. ඒ අතරට කිරිබතට සුවිශේෂී තැනක් හිමි වේ. දුටුගැමුණු කුමරුන්ට නම් තබන දිනයේ මාලිගාවට වැඩම කල භික්ෂූන් වහන්සේලාට කාවන්තිස්ස රජු කිරිබත් පූජා කල බව සදහන්ය.

අපේ පැරැන්නෝ කැද පෝෂ්‍යදායි ආහාරයක් ලෙස සැලකූහ. ධාන්‍ය , මස්, එළවළු , පලා, පළතුරු ආදිය කැද සෑදීමට යොදාගෙන තිබේ. කොළ කැද , ලුණු කැද , නිවුඩු සහල් කැද හා කිරි කැද යනාදිට ප්‍රධානත්වයක් හිම්ක් වේ.

බත් හැරුණුකොට අපේ පැරැන්නන් අතිරේක භෝග ද ආහාරයට ගත්හ. ඒ අතර ධාන්‍ය වලට ප්‍රධාන තැනක් හිමිවේ. ආහාර හිග කාල වලදීත් ආහාර වේල්වල විවිධත්වයක් පවත්වා ගැනීම උදෙසාත් මෙම ආහාර යොදා ගත්තේය. උදු, කුරක්කන් , තල, මෙනේරි, අමු, මුං ආදිය අතීතයේදී බහුල පරිභෝජනය කර ඇත. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ සමයේදී ධාන්‍ය ගබඩාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි උදු, කුරක්කන්, මුං ආදිය ගබඩා කර තිබූ බව තෝනිගල පර්වත ලිපියේ සදහන් ය. අමු, මෙනේරි , වරා ආදිය රජවරු ආහාරයට ගත් බව සද්ධර්මාලංකාරයේ දැක්වේ. උඩරට රාජධානි සමයේ කුරක්කන් පිටි යොදා සෑදු තලප රොබට් නොක්ස් එදා හෙලදිව තුළින් ප්‍රකාශ කරයි.

ආදී ආහාර සංස්කෘතිය තුළ පාන වර්ග ඉතා වැදගත් විය. හෙල රජ දරුවෝ අෂ්ඨ විධ පාන යනුවෙන් සදහන් කරන්නේ අඹ පානය, ජම්බු පානය, මෝඛ පානය ( මස් කෙසෙල් වලින් සෑදූ පානයකි. ), වෝඛ පානය ( ඇටිකෙසෙල් වලින් සෑදූ පානයකි ), මධු පානය, සලාක පානය ( ඕලු ඇට වලින් සෑදූ පානයකි ), සහ එරුසක පානය ( උගුරැස්ස වලින් සෑදූ පානයකි ) යනාදී පාන වර්ගයි. එතකුදු නොව එකල බෙලි මල්, රණවරා, පොල්පලා, කරපිංචා, නෙල්ලි, රසකිඳ යනාදියෙන් තනාගත් පාන වර්ග බෙහෙවින් ජනප්‍රිය වී තිබේ. උක් යුෂ හා තැඹිලි පානයද පොදු ජනයාගේ පවස නිවාගන්නට උදව් වී ඇත.

එකල අපේ ඇත්තන්ගේ ආහාර සංස්කෘතිය මෙතරම් පෘථුල පරාසයක විසිරී පැතිරී තිබුනද වත්මන් තත්ත්වය මීට වඩා බෙහෙවින් වෙනස් වේ. කාලයාගේ ඇවෑමෙන් පරිණාමයට පත් වූ මානව සංහතිය තුළ අද වන විට සීමිත වපසරියක විහිදුණු ආහාර රටාවක් දක්නට ලැබේ. හරිත විප්ලවයෙන් ජීවය ලද බහුජාතික සමාගම් මගින් මෙකී පුළුල් ආහාර රටාව විනාශ කර ලාභ අපේක්ෂාවෙන් තිරිඟු , ඉරිගු, වී සහ සෝයාබෝංචි යන ආහාර වර්ග හතරට මුළු ලෝකයම කොටුකරගන්නට පෙළඹුණි. එහි අයහපත් ප්‍රථිඵලය වූයේ රට තුළ උසස් බීජ වර්ග නැති වී ගොස් ජානමය විකෘතිතා ඇති බීජ වර්ග රට තුළට ගලා විත් මුළුමහත් ජාතියක් ලෙඩ කරවීමයි.

මොන්සැන්ටෝ බේයර්, සින්ජෙන්ටා වැනි පරජාතික සමාගම් මගින් බල දේශපාලනය යොදා ගනිමින් ස්වයංපෝෂිත රාජ්‍ය සතු ආහාර සම්පත කොල්ලකා එමගින් ලොව පුරා පාරිසරික විවිධත්වය අනතුරට ලක් කලේය.

රටක් වශයෙන් , ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කල යුත්තේ පිටරටින් ලැබෙන තුරු අතපය හකුලා ගෙන මුහුදට දත නියවීම නොව සියරට දේ සිරිසැප දේ යනුවෙන් සිතා වැළලී ගිය ආහාර සංස්කෘතියට නව පණක් ලබා දීමයි.

සටහන
උදුලා ප්‍රසාදිණී
සොබාදහම් පාසල

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>