රට වනසන කටුපොල් මාරයා පිටු දකිමු

නිවර්තන කලාපීය රටක් වන ශ්‍රී ලංකාව තුළ යටත් විජිත සමයේ සිට වාණිජ බෝග හදුන්වා දීම සිදුවිය.වාණිජ බෝග හදුන්වා දීමත් සමඟ රට තුළ වනාන්තර ගහනය අඩු විය.එම බෝග වගාවන් සිදු විය.මෙය පළමුවෙන් ආරම්භ වූයේ කෝපි වගාවෙන් ය.ඒ සඳහා කඳුකර ප්‍රදේශ එළි පෙහෙළි කර කෝපි වගාව සිදුකරන ලදි.ඉන් අනතුරුව අධිරාජ්‍යවාදීන් විසින් මෙරට නොයිදුල් කඳුකර වනාන්තර හා පහතරට තෙත් කලාපීය වනාන්තර එළි පෙහෙළි කරමින් තේ වගාව ස්ථාපිත කරන ලදි.විශේෂයෙන් ම තේ වගාව ස්ථාපිත කිරීමේදී මධ්‍යම කඳුකරයේ සිදුකල වනාන්තර හානිය නිසාවෙන් මධ්‍යම කඳුකරයේ සිටි අලි ඇතුන් විශාල ප්‍රමාණයක් ඉන් වඳවී ගියහ.ඉන් පසු නැවතත් අධිරාජ්‍යවාදීන් විසින් වාණිජ බෝගයක් ලෙස රබර් ස්ථාපිත කරන ලදි.විටින් විට හදුන්වා දුන් මෙම වාණිජ බෝග හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පැවති වනාන්තර ගහනය සීඝ්‍රයෙන් අඩු විය.ජෛව විවිධත්වයට හානි විය.
අද වර්තමානය වන විට වාණිජ බෝග වගාවෙහි නවතම මුහුණුවර කටුපොල් වගාවයි.රබර් වැනි වාණිජ බෝග සඳහා වන ඉල්ලුම අඩු වීමත් සමඟ ව්‍යාපාරිකයන් වැවිලි සමාගම් කටුපොල් වගාව ආරම්භ කර ඇත.කටුපොල් ,ඔයිල් පාම් ලෙසද හදුන්වන අතර මෙමගින් ෆාම් ඔයිල් නිෂ්පාදනය කරනු ලබයි.වර්තමානය වන විට ලෝක වෙළෙඳපොළ තුළ ෆාම් ඔයිල් සඳහා වැඩි ඉල්ලුමක් පවති.එයට හේතුව වන්නේ ෆාම් ඔයිල් ආහාර නිශ්පාදනයේ දී භාවිතා කරන අමු ද්‍රව්‍ය වීම,රූපලාවණ්‍ය ආලේපන නිෂ්පාදනය කරන අමුද්‍රව්‍යක් වීම.ජෛ ව ඉන්ධනයක් ලෙස වැදගත් වීම වැනි කාරණා හේතුවෙන් ෆාම් ඔයිල් සඳහා වැඩි ඉල්ලුමක් පවතී.ඒ හේතුවෙන් බොහෝ රටවල ඔයිල් පාම් නැතහොත් කටුපොල් වගා කරනු ලබයි.නමුත් කටුපොල් ශාකය නිවර්තන කලාපීය ශාකයකි.මැලේසියාව ඉන්දුනීසියාව වැනි රටවල කටුපොල් වගාව සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය.ලංකාව තුළ ද මේ වන විට කටුපොල් සීඝ්‍ර ලෙස වගා කරමින් පවතී.පෙර තිබූ රබර් ඉඩම් එළි කර එහි කටුපොල් වගාව ස්ථාපිත කරමින් ඇත.එයට හේතුව වූයේ ලෝක වෙළෙඳපොළ තුළ කෘතීම රබර් මිලදී ගැනීම හේතුවෙන් රබර් සඳහා වන ඉල්ලුම අඩුවීමත් කටුපොල් ඉල්ලුම වැඩිවීම
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව සීග්‍රයෙන් ව්‍යාප්ත වී ඇත.නාකියාදෙණිය ප්‍රදේශයෙන් ආරම්භ වූ කටුපොල් වගාව මේ වන විට ගාල්ල,මාතර,කලුතර යන දිස්ත්‍රික්ක වල ප්‍රධාන වශයෙන් ව්‍යාප්ත කර ඇති අතර රත්නපුර ,කෑගල්ල හා කොළඹ යන දිස්ත්‍රික්ක වල කටුපොල් වගාව ස්ථාපිත වෙමින් පවතී.තවද ලංකාවේ ශ්‍රීපාද අඩවියේ කටුපොල් වගාව ආරම්භ කිරීමට සූදානමක් පවතී.එසේ සිදු වුවහොත් එය විශාල පරිසර හානියක ආරම්භයකි.ලංකාවේ බොහොමයක් ගංගාවන්හි ජල පෝෂක ප්‍රදේශ බවට පත්වන්නේ මධ්‍යම කඳුකරයයි.ශ්‍රී ලංකාවේ හදවත මධ්‍යම කඳුකරයයි.ඒ හේතුවෙන් ඒ හේතුවෙන් එම සංවේදී පරිසර පද්ධතිය විනාශ නොකල යුතුය.මන්ද කටුපොල් වගාව තුළින් විශාල පාරිසරික හානියක් සිදුවන බැවිනි.
වර්තමානය වන විට මහජනතාව තුළ කටුපොල් වගාවට විරුද්ධව මතයක් ගොඩනැගෙමින් පැවතියද රජය විසින් ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොමැත.මහජනතාව කටුපොල් වගාවට විරුද්ධ වීමට ප්‍රධාන හේතුව වන්නේ කටුපොල් ශාකය නිසා පරිසරයට සිදුවන අහිතකර බලපෑම හේතුවෙනි.කටුපොල් අධික ලෙස ජල පරිභෝජනය කරන ශාකයකි.වියළි කාලවලදී වැඩුණු කටුපොල් ශාකයක වාෂ්පීභවන හා උත්ස්වේදන සීඝ්‍රතාව දිනකට ජලය 500 L – 600 L අතර වේ.එය සාමාන්‍ය දිනයකදී 400L බව අන්තර් ජාතික පර්යේෂණ මඟින් තහවුරු වී ඇත.
කටුපොල් වගාව හේතුවෙන් භූගත ජල මූලාශ්‍ර වලට වැඩි බලපෑමක් සිදුවේ.තවද වර්ෂා රහිත කාල වලදී කටුපොල් වගාබිම් අවට ඇති ඇළ දොළ ළිංවල පවා ජලය සීඝ්‍රයෙන් අඩු වී සිඳී යාමට ලක් වේ.තවද ජලජ ජීවීන විනාශ වීම වැනි හේතු සාධක බොහොමයක් හේතුවෙන් කටුපොල් වගාව පරිසරයට අහිතකරයි.වනාන්තර එළිකර කටුපොල් වගාබිම් ස්ථාපිත කිරීම හේතුවෙන් ජෛව විවිධත්වය විනාශ වීම,ජෛව විශේෂ රාශියකට වාසස්ථාන අහිමි වීම,ශාක හා සත්ව විශේෂ වඳවීම,වනාන්තර හරනය,නේවාසික ඛන්ඩනය වැනි පාරිසරික හානි ද සිදු වේ.තවද කටුපොල් ශාකය මධ්‍යම කඳුකරය වැනි ජල පෝෂක ප්‍රදේශ වල ආරම්භ කළහොත් කටුපොල් බීජ ජලපහරවල් ඔස්සේ සතුන් මගින් ව්‍යාප්ත වීම හේතුවෙන් ස්වාභාවික පරිසරය හා එක්ව රෝපණය වී ව්‍යාප්ත වීමට හැකියාව පවතී.එසේ වුවහොත් එය ආක්‍රමණශීලී ශාකයක් ලෙස ව්‍යාප්තිය සිදුවේ.
කටුපොල් ශාකය වගා කිරීමේදී යටි වගාවක් රෝපණය නොකරන අතර ශාක අතර පරතරය ද විශාලය මේ හේතුවෙන් නිරිත දිග මෝසම් සුළං හා අන්තර් මෝසම් සුළං හේතුවෙන් ඇතිවන වර්ෂාපතනයකදී වගාබිම් පාංශු ඛාදනයට ලක් වේ.ඒ හේතුවෙන් කුඩා දිය පහරවල් රොන් මඩින් පිරී යයි.තවද වැසි රහිත කාලගුණික තත්වයක් පවතින කාල වලදී නිරාවරණය වූ පාංශු ස්ථරය මතට සූර්යාලෝකය සෘජුවම පතිත වීම නිසා ජලය වාශ්ප පස සීඝ්‍රයෙන් වියළි බවට පත් වේ.මේ හේතුවෙන් එම ප්‍රදේශ වල පස තද වීමකට ලක්වීම නිසා ජල අවශෝෂණය අඩුවන අතර මතුපිටින් ගලා යන ජල ප්‍රමාණය වැඩි වීමෙන් පහත් බිම් තුළ නිරන්තරයෙන් ජල ගැලීම් ඇතිවේ.
කටුපොල් ශාකයේ වැඩීම සදහා පොහොර බොහෝ ප්‍රමාණයක් අවශ්‍ය වේ.දීර්ඝකාලීනව පොහොර බොහොමයක් යෙදීම හේතුවෙන් පස නිසරු භාවයට පත් වේ.කටුපොල් ශාකයක හොදම ඵලදාව ලැබෙනුයේ වසර 3-7 අතර කාලය තුළ දීය.වසර 15 ක් පමණ කාලයක් ගත වීමේදී ඵලදාව සීඝ්‍රයෙන් අඩුවන අතර නැවත සිටුවන වාරයක් පාසා පොළව නිසරු බවට පත් වේ.තවද කටුපොල් ශාකයෙන් නෙලාගත් අස්වැන්නෙන් 75% ක් පමණ අපද්‍රව්‍ය ලෙස බැහැර කරන අතර එම අපද්‍රව්‍ය නිසිලෙස පිරිපහදු කර බැහැර කල යුතුය.නමුත් ලංකාව තුළ ඇති ෆම් ඔයිල් කර්මාන්තශාලා තුළින් බැහැර කරන අපද්‍රව්‍ය නිසි පිරිපහදුවකින් තොරව බැහැර කරනු ලබයි.එයට හේතුව වන්නේ ප්‍රමිතීන් ට අනුව සිදුකරන පිරිපහදුවක් සඳහා විශාල පිරිවැයක් අවශ්‍ය වීමයි.එම නිසා තෙල් සහ ජලය මිශ්‍ර කාබනික අපජලය ගංගා ඇළදොළ ඔස්සේ ප්‍රමිතියකින් තොරව බැහැර කරයි.එය ජෛව ප්‍රජාවන්ට හානි සිදු කරයි.
ලෝකයේ බොහෝ රටවල් කටුපොල් වගාව සිදුකර ද ඉන් ලැබෙන අහිතකර පාරිසරික බලපෑම් හේතුවෙන් වගාව ව්‍යාපෘතිය අවම කර ඇත.බොහෝ රටවල් ෆාම් ඔයිල් තුරන් කිරීම සඳහා ෆාම් ඔයිල් ආශ්‍රිත නිෂ්පාදන මිලට ගැනීම සීමා කර ඇති අතර ලංකාව තවදුරටත් කටුපොල් වගාව ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම රටෙහි අනාගතයේ අවාසනාවකි.නිදසුනක් ලෙස වගුරු වනාන්තර විනාශ කරමින් කටුපොල් වගාව සීඝ්‍රයෙන් සිදුකරගෙන ගිය බෝර්නියන් දූපත් බොහොමයක් නිරන්තරයෙන් ගංවතුරට මුහුණ දේ.තවද සුමාත්‍ර දූපත් වල සිටි ක්ෂීරපායි විශේෂ බොහොමයක් වද වී ගොස් ඇත.කටුපොල් වගාව හේතුවෙන් සිදු වී ඇති විනාශය පෙනෙ පෙනීම එය තව තවත් ස්ථාපිත කිරීමට වෙහෙසෙනුයේ මුලු පරිසරයම මුදලට විකිණීමට පාලකයන් සූදානම් නිසාවෙනි.
කටුපොල් ශාකයට විකල්ප ලෙස නැතිනම් ෆාම් ඔයිල් සදහා විකල්ප ලෙස ලංකඅව තුළ පරිසර හිතකාමී බොහොමයක් සම්පත් තිබුණද උදාහරණ ලෙස පොල්තෙල් ,තලතෙල්,මීතෙල් වැනි දෑ පැවතිය ද රජය විසින් එම නිෂ්පාදන ප්‍රචලිත කිරීමට ක්‍රියාමාර්ග නොගනී.එයට හේතුව වන්නේ ඔවුන් වැඩි ලාභයට පරිසරය විකිණීමයි.මේ බව ආචාර්ය වන්දනා ශිවාගේ stolen harvest (සොරාගත් අස්වැන්න )කෘතියෙහි පැහැදිලි කර ඇත.දේශීය නිෂ්පාදන ,පරිසර හිතකාමී දේශීය වගාව,දේශීය ගොවියා විනාශ කරමින් වාණිජ බෝග ජදන්වා දුන්නද එ තුළින් පරිසරයේ පැවැත්ම ජීවයේ පැවැත්ම රදා පැවතියේ නැත.
ත්වද නව බෝගයක් හදුන්වා දීමේදී බෝගය සමග ගොඩනැගෙන අන්තර් සබදතා පිළිබඳව අවධානය යොමු කල යුතුය.විශේෂයෙන්ම පරිසර හිතකාමී ද නැද්ද යන්න සොයා බැලිය යුතුය.මන්ද බෝගයක ගණුදෙනුව නිරන්තරයෙන්ම සිදු වනුයේ පරිසරය සමගය.බෝගය ස්වාභාවික පරිසරය සමග දක්වන ප්‍රතික්‍රියා පිළිබඳව සැලකිලිමත් විය යුතුය.පස ජලය වැනි සංරචක කෙරෙහි බලපෑම් කරන ආකාරය පිළිබඳව අවධානය යොමු කල යුතුය.ඒ කිසිදු අවධානයක් නැතිව මධ්‍යම පරිසර අධිකාරිය විසින් පත් කරනු ලැබූ විද්වත් කමිටුවක් මගින් ද සිදු කල පර්යේෂණ මගින් කටුපොල් වගාව ලංකාවේ ව්‍යාප්ත කිරීමට සුදුසු වගාවක් නොවන බවටත් නිර්දේශ කර තිබියදී තව තවත් එය ව්‍යාප්ත කිරීමට උත්සාහ දැරීම සැබැවින්ම ජාතියේ අවාසනාවකි.
ෆාම් ඔයිල සදහා දැනට පනවා ඇති ආනයන බදු හේතුවෙන් කටුපොල් කර්මාන්තයෙන් විශාල ලාභයක් ලගා කර ගත හැකි වුවද එහි තිරසාර බවක් නොමැති බව පර්යේෂණ මගින් හෙලි වී තිබීම හේතුවෙන් ලංකාව තුළ කටුපොල් බීජ ආනයනය තහනම් කල යුතුය.නව වගාබිම් ස්ථාපිත කිරීම තහනම් කල යුතුය.පවතින වගා බිම් පුලුල් කීරීමට ඉඩ නොදිය යුතුය.නැතිනම් ලංකාව තුළ පවතින භූගත ජල උල්පත් සිදී පාංශු ඛාදනය සිදු වී වනාන්තර විනාශ වී අනාගතයේ වැහැරුණු කටුපොල් ශාක පමණක් දක්නට ලැබෙනු ඇත.ජෛවිවිධත්වය වියකී යාමට ඉඩ ඇත.යටත් විජිත සමයේ වනාන්තර එළිපෙහෙළි කර වාණිජ බෝග සිටුවීම හේතුවෙන් වනාන්තර ශාක සත්වයින් විනාශ විය.එහි තුබූ ජෛවිවිධත්වය සම්පූර්ණයෙන් විනාශ විය.කටුපොල් වගාව තවදුරටත් ව්‍යාප්ත කලහොත් නුදුරු දිනක නැවතත් එසේම වනු ඇත.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
palm nimasah

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>