අලි මිනිස් ගැටුම පිළිබද සුවිශේෂි ලිපියක් පළමු කොටස

bain-elephant-sri-lanka

අලි දැනට ගොඩබිම ජීවත් වන විශාලම සත්ව වර්ගයයි.අලි ක්ෂීරපායි හෙවත් කිරි බී වැඩෙන සතෙකි. අනෙක් ක්ෂීරපායීන්ට වඩා අලියා පෙනුමෙන් වෙනස් වේ. මේ නිසා ක්ෂීරපායි සතුන් වර්ගීකරණයේදී අලි වෙනමම පවුලකට වෙන්කර තිබේ. ඒ පවුල හැදින්වෙන්නේ ප්‍රොබෝසිඩේ ( Proboside ) යන නමිනි. මෙම පවුලට අයත් වන්නේ හොඞවැලක් සහිත අලි පමණය.
අද වන විට ලෝකයේ ඉතිරි වී ඇත්තේ අලි විශේෂ දෙකක් පමණි. ඒ අප්‍රිකානු අලි හා ආසියාතික අලිය. අප්‍රිකානු අලියා විද්‍යාත්මක නාමකරණයේදී Loxodonta Africana වන අතර ආසියාතික අලියා Elephas Maximus වශයෙන් හදුන්වයි.
සිංහල බසින් අලින් විවිධ නම් වලින් හැදින්වෙයි. දළ සහිත පිරිමි සතුන් ඇත්තු ලෙසද දළ රහිත පිරිමි සතුන් අලි ලෙසද හැදින්වේ. ගැහැණු සත්තු ඇතින්න , කෙනෙර යන නම් වලින් හැදින්වේ.

ආසියානු අලින්ගේ විවිධත්වය

අද අපට අලි දකින්නට ලැබෙන්නේ අප්‍රිකා මහද්වීපයේ හා ආසියා මහද්වීපයේ රටවල් කිහිපයක පමණි. අතීතයේදී ආසියානු මහද්වීපය පුරාම අලි වාසය කර ඇත. එනම් අද ඉරාකය සහ ඒ අවට රටවල් වලට අයත් දකුණු ඉරානය , පාකිස්තානය මුළු ඉන්දීය අර්ධද්වීපයට අයත් බිම් ප්‍රදේශවල සිට අගිනිදිග ආසියානු කලාපය, නැගෙනහිර චීනය මෙන්ම දූපත් ලෙස වෙන්වී ඇති ශ්‍රී ලංකාව , සුමාත්‍රාව හා ඉන්දුනීසියාව දක්වා ආසියානු අලි පැතිරී ජීවත් වූහ. නමුත් අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වී ඇත. මේ වනවිට ආසියානු අලි ජීවත් වන්නේ ඉන්දියාව , බංග්ලාදේශය , භූතානය , කාම්බෝජය , ඉන්දුනීසියාව , ලාඕසය , මැලේසියාව , වියට්නාමය , මියන්මාරය , නේපාලය , තායිලන්තය , සුමාත්‍රාව සහ ශ්‍රී ලංකාව යන රටවල් 13ට අයත් භූමි ප්‍රදේශවල පමණි. ඉරාකය , පාකිස්තානය ඇතුළු ආසියාවේ බටහිර ප්‍රදේශවලින්ද මේ වන විට අලි වද වී ගොස් අවසන්‍ ය.
පවතින පරිසරයේ ස්වාභාවය අනුව ආසියානු අලි සහ අප්‍රිකානු අලි අතර වෙනසක් දැකිය හැකිය. එනම් අප්‍රිකානු අලි අර්ධ ශුෂ්ක සහ ශුෂ්ක දේශගුණයට අනුවර්තනය වී පරිණාමයට පත්ව ඇත. එහෙත් ආසියාතික අලියා පරිණාමික අනුවර්තනයක් දක්වා ඇත්තේ තෙත් සහිත දේශගුණික පරිසරයකටය. මේ පිළිබඳව අදහස් දක්වන විද්වතුන් පෙන්වා දෙන්නේ දැනට වසර 10,000කට පමණ පෙර ආසියාතික කලාපය ශීතල දේශගුණික තත්ත්වයක් තිබූ බවයි. මේ මතය තවදුරටත් සනාථ වන්නේ හිම ප්‍රදේශවල ජීවත් වු ලොම් සහිත මැමත් නම් අලි විශේෂය වඩාත් සමීප ඣාති සම්බන්ධතාවයක් පෙන්වන්නේ ද ආසියානු අලින් වීමයි. ආසියානු අලි වද වී තිබෙන බටහිර ආසියානු ප්‍රදේශ දැනට වසර 6000කට පෙර අද තිබෙන අර්ධ ශුෂ්ක තත්ත්වට වඩා සම්පූර්ණයෙන් වෙනස්ව තෙත් වනාන්තර වලින් පිරී තිබූ බවයි.
ආසියාතික කලාපයේ ක්‍රමයෙන් අලි වද වී යාමට වනාන්තර ප්‍රතිශතය අඩු වීම බලපා ඇත. දැනට ආසියානු අලි ජීවත්වන ස්වාභාවික පරිසරය තුල සිදුකරන වේගවත් වන විනාශය සහ අලින්ගේ වාසභූමි වෙනත් වගාබිම් , එනම් පයිනස් , යුකැලිප්ටස් සහ තේක්ක වැනි ඒකීය භෝග වගා බවට පරිවර්තනය කිරීම ගොවි ජනපද වැනි මානව අවශ්‍යතා සදහා කැළෑ බිම් වෙනස් කිරීම නිසා ආසියාතික අලින්ගේ පැවැත්ම තර්ජනයට පත්ව ඇත.මේ හේතුව නිසා ආසියානු අලි ලෝක සංරක්ෂණ සංගමයට ( IUCN ) අනුව වදවීයාමේ තර්ජනයට ලක්ව ඇති සතුන්ගේ ලේඛනයට ඇතුලත්ව ඇත.
Elephas Maximus විශේෂයට අයත් වන ආසියානු අලින්ගේ උප විශේෂ ගණනාවක් අතීතයේදී ජීවත් වූ නමුත් අද වන විට ඉතිරිව ඇත්තේ උප විශේෂ තුනක් පමණි.
Elephas Maximus Maximus උප විශේෂය ශ්‍රී ලංකාවට පමණක් සීමා වී ඇත.Elephas Maximus Indicus උප විශේෂය ඉන්දියාව , මියන්මාරය , තායිලන්තය , ලාඕසය , කාම්බෝජය , වියට්නාමය වැනි රටවල හමුවේ. Elephas Maximus Sumatranas විශේෂය හමුවන්නේ සුමාත්‍රාවේ සහ බටහිර මැලේසියාවේ පමණි.

ශ්‍රී ලංකාවේ අලි

ශ්‍රී ලංකාවේ හමුවන අලි විශේෂය, එනම් Elephas Maximus Maximus උප විශේෂය ආසියාතික අලි විශේෂ අතර විශාලතම සහ වර්ණය අතින් ඉතා තද පැහැයක් ගන්නා සත්වයෙකි. ඈත අතීතයේ සිටම අලි ඇතුන් අපට සුවිශේෂී සත්ව වර්ගයක් වී සිටියහ. ශ්‍රී ලංකාවේ පුරා ජෛව විවිධත්වය පිළිබඳව සලකා බැලීමේදී ලංකාවේ වදවී ගිය අලි විශේෂ කිහිපයක් පිළිබඳ රත්නපුර සත්ව සන්තතිය පිළිබඳ ලැබී ඇති පොසිල සාධක තහවුරු කරයි. වර්තමානයේ ලංකාවේ ජීවත්වන උප විශේෂයට වඩා ශරීර ප්‍රමාණයෙන් විශාල අලි විශේෂ සිටි බව මෙම තොරතුරු වලින් හෙළි වී ඇත. විශේෂයෙන් පාරිසරික තත්ත්වයන් වෙනස් වීම ඔවුන් වදවී යාමට බලපා ඇත.
ස්වාභාවික සාධක වෙනස් වීම සහ වෙනස් කිරීම හේතුවෙන් අලියා පමණක් නොව ඕනෑම සත්වයකුගේ පැවැත්ම සදහා අභියෝග වන අවස්ථා වලදී ගැටුම් නිර්මාණය වෙයි. මන්ද ඔවුන් පැවැත්ම වෙනුවෙන් සටන් වදී. පරිසර විද්‍යාත්මකව සත්වයෙකු එක් තැනක සිට තවත් ස්ථානයක් දක්වා සංසරණය සිදු කිරීම අවශ්‍යතා හතරක් මත පදනම් වෙයි. අලියා සම්බන්ධයෙන්ද මෙම ජීව විද්‍යාත්මක ගුණය දැකිය හැකිය.

සංචරණ අවශ්‍යතා
1. ආහාර අවශ්‍යතාව සදහා වූ සංචරණය
2. ලිංගික අවශ්‍යතාව සදහා වූ සංචරණය
3. ආරක්ෂාව අවශ්‍යතාව සදහා වූ සංචරණය
4. පාරිසරික අවශ්‍යතාව සදහා වූ සංචරණය
අලියාගේ ජීවන පැවැත්මට පදනම් වූ ඉහත කරුණු සපුරා ගැනීමට අවශ්‍ය අවකාශය මිනිසා විසින් අවහිර කිරීම අලි මිනිස් ගැටුමේ ඉතිහාසයයි. එය වර්තමානය වන විට උග්‍ර අතට පත්ව ඇත. ශ්‍රී ලංකා ජන සමාජය තුළ අලියා සමග සහජීවනයෙන් ජීවත්වීමේ මහා සංස්කෘතික අනුවර්තනයක් දක්වන ලදි.අතීතය තුළ පැවති එම ලක්ෂණය වර්තමානය තුළ ගැටුමක් ලෙස නිර්මාණය කොට ඇත.

අතීතයේ සංස්කෘතියේ සහ ජීවිතයේ එක් කොටසක් ලෙස දකින ලදී. කුඩා කල සිට ජනයා තුළ කුතුහලය දනවන සත්ත්වයෙක් ලෙස අලියා හැදින්විය හැකිය.
“ ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා ”වැනි ළමා ගීත තුළින් අලියා පිළිබඳව කුතුහලයක් දරුවා නලවන තැනේ සිට අප සමග පැවති සංස්කෘතික බැදීමක් ආදරය මෙන්ම ගවුරවය ද ජීවිතයේ මුල්වරට ඇති කිරීමට උදව් කල බවට සැකයක් නැත.
“කන්දේ කකා ලන්දේ යන බෝසත්තූ ” ලෙස ජනවහර තුළ කියමන් පවා නිර්මාණය වී ඇත්තේ අලි සමග අප ගත කල සාමකාමී වටපිටාව කෙතරම්ද යන්න පැහැදිලි කරමිනි.
පරිසරය තුළ මිනිසා සහිත සතා සිවුපාවා , භූමිය , ආහාර , ජලය වැනි සහජීවනයෙන් සහ සහභෝගීත්වයෙන් යුතුව බෙදා ගන්නට සමත් විය. අලියාට අවශ්‍ය පාරිසරික වටපිටාවට හානියක් නොකොට ජීවිතය බෙදා ගැනීමට තිබූ වටපිටාව වනසා දැමීම අලි මිනිස් ගැටුමට පාර කපා ඇති බව නොරහසකි.

අලියා සමග බැදුණු ජීවන අවශ්‍යතා
අලියා පරිසරයේ වෙනත් සත්ත්වයන් සේම උන්ගේ ජීවිතය හා බැදුණු අවශ්‍යතා රැසකි. ඒ අතර ආහාර හා ජල අවශ්‍යතාව ප්‍රධාන වෙයි. අලියා සම්පූර්ණ ශාක භක්ෂකයෙකි. අලින්ගේ දිනපතා ආහාරයෙන් සියයට හැත්තෑවක් පමණ අඩංගු වන්නේ විවිධ තණකොළ වර්ගය. වැඩුණු අලියකුට දිනයකට ශාක කොටස් කිලෝග්‍රෑම් 150-250ක් පමණ අවශ්‍ය වෙයි. අලියාගේ වයස අනුව මෙම සංඛ්‍යාව යම් යම් වෙනස්කම් වලට භාජනය වෙයි. අලියා තම එක් දිනක් නැතිනම් දවසට පැය 16ක් ආහාර ගැනිමට සාමාන්‍යයෙන් ගත කරයි. අලියා ජලයට වැඩි කැමැත්තක් දක්වයි.ආසියාතික අලියා උණුසුමට
අකමැතිය. අර්ධ ජලජ සත්යකු ලෙස සැලකෙන අලියා දිනකට ජලය ලීටර 100 – 120 පමණ පානය කරයි.

අලියා සංක්‍රමණික සත්වයෙකි. අලියකු සාමාන්‍යයෙන් දිනකට කිලෝමීටර 20 – 25 ක් පමණ දුරක් ගමන් කරයි. අලියා වඩාත් ක්‍රියාශීලීව හැසිරෙන්නේ රාත්‍රී කාලයේදී ය. මේ නිසා විද්වතුන් අලියා අර්ධ නිශාචර සත්වයකු ලෙස හදුන්වයි. අලියා දිවා කාලයට වඩා රාත්‍රී කාලයේදී පෙනුම දියුණු සත්වයෙකි. තම ජීවන අවශ්‍යතා සදහා වැඩිපුර රාත්‍රී කාලයේ හැසිරීම දැකිය හැකි අලින් විශාල ආහාර ප්‍රමාණයක් ගන්නා නිසා අලි රැලක් දිගටම එක ප්‍රදේශයක රැදී ඉන්නේ නැත. මොවුන් වසර පුරාම නිශ්චිත මාර්ග රටාවක් ඔස්සේ සංක්‍රමණය වෙති. මේ සංක්‍රමණයේදී අලි රංචු වශයෙන් විශාල දුර ප්‍රමාණයක් ගමන් කරති. අලි මංකඩ ලෙස හැදින්වෙන්නේ මෙවැනි සංක්‍රමණික මාර්ගය. රැලේ සිටින අලි පරපුරෙන් පරපුරට මෙම සංක්‍රමණික මාර්ග ඉගෙන ගෙන ඇත.
ස්වාභාවික පරිසරයේ අලින්ගේ හැසිරීම අධ්‍යයනය කිරීමේදී පෙනී යන්නේ ඔවුන් මානව සමාජයේ අප වගේම සමාජයීය ජීවිතයට වැඩි කැමැත්තක් දක්වන බවයි. අලින් අපි වගේම නේද කියා අපට හැගී යන්නේ ඔවුන්ගේ සමාජයීය රටාවන් දෙස බැලීමේදීය. අලියා ඉතා දැඩි සමාජ ජීවිතයකට හුරුවුණු සත්ව වර්ගයකි. අපේ සමාජයේ අපේ පවුල වගේම අලි රැළක් තුළ දැඩි විනය නීති රැසක් දකින්නට පුලුවන. අලි රැලේ නායකයා ඇතෙකු නොව රැලේ වැඩිමහල් ඇතින්නකි. ඊට හේතුව අලි රැළක් තුළ ලිංගිකව මේරූ පිරිමි සතුන් තබා නොගැනීමයි.මේ නිසා අලි රැළක් තුළ සිටින්නේ ලිංගිකව වැඩුණු ගැහැණු සතුන් සහ ගැහැණු හා පිරිමි පැටවුන් පමණි. ඒ නිසාම අලි රැළක සිටින මේ වැඩිමල් ඇතින්නියන් සියලුදෙනා ම එකිනෙකාට සහෝදරියෝ , මව්වරු , දූවරු , ලොකු අම්මලා හෝ පුංචි අම්මලා වෙති.
පිරිමි පැටව් ලිංගිකව මේරූ විට එනම් වයස අවුරුදු 9 -10 පමණ කාලයේදී රැල අතහැර යති.එසේ නොයන්නේ නම් වැඩිමහලු ඇතින්නියන් විසින් උන් රැලෙන් පන්නා දමනු ලැබේ.මේ පන්නා දැමීම තුළ ලේ ඣාතීන් අතර ලිංගික හැසිරීම් පාලනය කිරීම අලින්ගේ මෙම සමාජයීය හැසිරීම් රටාවට හේතු වේ. ලිංගික පරණතභාවයට පත් අලියකුට වසරේ ඕනෑම කාලයක ලිංගිකව හැසිරීමට පුලුවන. ගැහැණු අලි පැටවකු වයස අවුරුදු 10 -12 ක් පමණ වන විට ලිංගිකව පරිණත වෙයි. ඇතින්නක් මද චක්‍රයට පැමිණි විට ඇගේ මුත්‍රා සමග පෙරමෝන් වර්ගයේ රසායනික සංයෝගය පිට වෙයි. නමුත් පිරිමි සතුන්ගේ මෙන් ඇතින්නියකගේ මළ ග්‍රන්ථි වලින් දියර ගැලීමක් සාමාන්‍යයෙන් සිදු නොවේ. ලිංගිකව හැසිරීමට ඇතින්නියක පෙළඹෙන්නේ මද අවස්ථාවට පත් වූ විට පමණි. එසේ නොවන කාලයේදී අලියෙක් ලිංගිකව හැසිරීමට උත්සාහ කලහොත් පහරදී එලවා දැමීමට එළඹෙයි. රැලක සිට කිලෝමීටර 2 -3ක් ඈත සිටින අලින්ට පවා මේ පෙරමෝන් වල සුවදින් මද චක්‍රයට එළඹුණු ඇතින්නක් සිටින බව හදුනාගන්නට හැකිය. ඒ සුවද ඔස්සේ ඉව කරමින් අවට සිටින පිරිමි සතුන් ඇතින්න සිටින රැල වෙත ඇදී එති.
මේ අනුව පැහැදිලි වන්නේ අලින් සමාජශීලි සත්ව කොට්ටාශයක් වනවා සේම සමාජයීයව ගොඩනගා ගත් නීති රීති සමුදායක් ද ඇති බවයි. අලි රැලක් තුළ තිබෙන අන්නෝන්‍ය සමාජ රටාවට සහ බැදීමට හානි කිරීම , හිරිහැර කිරීම ප්‍රචණ්ඩකාරී , කළහකාරී අලි නිර්මාණය වීමට එක් හේතුවකි. අලියා වගේම බොහෝ සතුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීමට බලපාන්නේ ඔවුන්ගේ අවශ්‍යතා සපුරාගැනීමට අවහිරතා ගොඩනැගෙන විටයි. ආහාර , ලිංගික , ආරක්ෂාව ,පාරිසරික අවශ්‍යතා සදහා බාධා කිරීම් සිදුවන විට ගැටුම් නිර්මාණය වෙයි.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමේ ඉතිහාසය
ලංකා ඉතිහාසය පිළිබඳව සලකා බැලීමේදී අලියා විටෙක චතුරංගනී සේනාව නියෝජනය කර ඇත. එපමණක් නොව අලි වෙනත් රටවල් සදහාද පරිත්‍යාග කිරීම් ද දක්නට ලැබෙයි.අලින්ගෙන් වැඩ ගැනීම වැනි දෑ ද සිදුවිණ. එහෙත් ඉන් අලියා සමග පැවති අන්නෝන්‍ය සම්බන්ධතාවට හානියක් නොවිණි.මිනිසුන් පරිසරය තුළ සතුන් සමග ජීවිතය බෙදා ගැනිමට සමත් විය. එහෙත් වැඩි වැඩියෙන් සම්පත් මංකොල්ල කමින් රටවල් යටත් කරගත් අධිරාජ්‍යවාදී මුහුණුවරයෙන් සොබාදහමත් මානව සමාජයත් බෙදා වෙන් කරන ලදී.එහි ප්‍රථිඵලයක් ලෙස පරිසරය අර්බූදයට ලක් වීම සමාජයීය අර්බුදයක් බවට පෙරලීමයි. ඒ නිසා අලි මිනිස් ගැටුම් නිර්මාණය වන්නේ හුදෙකලා වටපිටාවක නොව ඉතිහාසයේ ක්‍රමික ක්‍රියාවලියක ප්‍රථිඵලයක් ලෙසිනි.

ලංකාවේ අලින්ට මුල්ම වරට හානියක් උදාවන්නේ 1505 දී මුහුදුබඩ ප්‍රදේශ පෘතුගීසි පාලනයට යටත් වීමත් සමග ය. පෘතුගීසින් කුළුබඩු වෙළදාම සිදුකලත් මෙරට දැව හා අලි මොවුන්ගේ වෙළඳ භාණ්ඩයක් බවට පත් විය. පහතරට වනාන්තර කපා දමමින් සිදුකල දැව ජාවාරමත් , අලින්ට රටවල්වල තිබූ ඉල්ලුම දුටු පෘතුගීසින් අලි අල්ලා අලි වෙළදාම් කරන ලදී. ඉන් පසු 1658 දී වෙරළබඩ ප්‍රදේශය ලන්දේසින් අතට පත්විය. ඔවුන්ද වෙනසක් නොකොට වනාන්තර වනසා දමමින් අලි වෙළදාම් කරන ලදී. ඓතිහාසික වාර්තවන්ට අනුව ලන්දේසි පාලන සමය තුළ අලි ඇතුන් 150 – 200 අතර සංඛ්‍යාවක් පිටරට යැවූ බවට වාර්තා තිබේ.
ලන්දේසින්ගෙන් පසු ඉංග්‍රීසින්ගේ පාලන සමය තුළ අලින්ට විශාලතම හානිය සිදුකරන ලදී. විශේෂයෙන් වනාන්තර විනාශ කිරීම සහ අලි අල්ලා පිටරට යැවීමට අමතරව බ්‍රිතාන්‍ය සමය තුළ විනෝදය සදහා අලි වෙඩි තබා මරා දැමීම ද සිදුකෙරිණි. මේ සමයේදී වැවිලි වගාවන් සදහා ලංකාවේ පහතරට හා කදුකර වනාන්තර විශාල වශයෙන් එළි කිරීම සිදුවිය. මේ නිසා අලින් විශාල ප්‍රමාණයකට තමන් වසර දහස් ගණන් ජීවත් වූ නිජබිම් අහිමි කරන ලදී. නිජබිම් අහිමි වී අවතැන් වූ අලි ඇතුන් වැවිලි බිම් හා ගම්මාන වෙත කඩා වදින්නට වූහ. එතැන් සිට මෙතෙක් කලක් මෙරට ජනයා සහ අලි ඇතුන් සමග පැවති සමාදානය අවසන් වීම ඇරඹුණි. ලංකාවේ මුල්වරට අලි මිනිස් ගැටුම ආරම්භ වූයේ වැවිලි වගාවන් ආරම්භයත් සමගය.
බ්‍රිතාන්‍යයන් තම වැවිලි වගාවන් කදුකර ප්‍රදේශවල ව්‍යාප්ත කරමින් ඔවුන්ගේ රටවල් සදහා අවශ්‍ය දෑ ගෙන යාමට වැඩ කටයුතු සංවිධානය කලේ අප රට සතු ස්වාභාවික සම්පත් වනසා දමමිනි. වැවිලි වගාවන් සදහා අලින්ගෙන් වන හානිය ඔවුන් කළමනාකරණය කර ගත්තේ අලියා වගාවන් සදහා හානිදායක පළිබෝධකයකු ලෙස දකිමිනි. වගාවන් සදහා කඩා වදින අලින් වෙඩි තබා ඝාතනය කිරීම නීතිගත කරමින් මරා දමන අලියෙකු වෙනුවෙන් මුදල් ගෙවීමේ ක්‍රමයක් ආරම්භ කරන ලදී.මේ අනුව ඉතිහාසයේ පළමුවරට අලියා පළිබෝධකයකු වන්නේ මේ යුගයේදීය.බ්‍රිතාන්‍ය වාර්තා වලට අනුව 1853 සිට 1859 දක්වා කාලය තුළ පමණක් අලි ඇතුන් 5194 ක් මරා දමා තිබෙන බවට සටහන් තිබේ.

මේ ආකාරයට මෙරට අලි පරපුරට උදාවූ අපලය ශ්‍රී ලංකාවට නිදහස ලැබුන පසු, මේ දක්වා අවසන් වී නොමැත. ඊට හේතුව වන්නේ සුද්දා වැවිලි වගාවන් ඇරඹූ ලෙසම නිදහසින් පසු මෙරට ආරම්භ වූ සියළු සංවර්ධන ව්‍යාපෘති අලි ඇතුන්ගේ පැවැත්ම පමණක් නොව පරිසරයේ ජීවීන්ගේ සමබර පැවැත්ම ගැන උවමනාවක් හෝ අවධානයක් නොදැක්වීමයි. මෙහි අවසාන ප්‍රථිඵලය වී ඇත්තේ මෙරට කෘෂිකාර්මයේ ප්‍රධාන සතුරා ලෙස අලියා නම් වීමයි. ඒ නිසා අද ශ්‍රී ලංකාවේ ග්‍රාමීය කෘෂිකාර්මික ප්‍රදේශවල ප්‍රධාන ගැටුම බවට පත්වී ඇත්තේ අලි මිනිස් ගැටුමයි.

නිදහසින් පසු ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘති අලි මිනිස් ගැටුම තීව්‍ර කිරීම
බ්‍රිතාන්‍යයන් නිදහස ලබා දුන් නමුත් ඔවුන්ගේ රටවල් සදහා අප සතු සම්පත් රැගෙනයාමට අවශ්‍ය ණය ආධාර සහ සංවර්ධන සැලසුම් නිර්මාණය කර පාලකයන් හරහා ඒවා ක්‍රියාත්මක කිරීමට සමත් විය. ඒ අනුව මේවනතෙක් ක්‍රියාත්මක වූ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති අලි මිනිස් ගැටුම සේම සතා සිවුපාවා හා මානව සමාජය තුළ ගැටුම් නිර්මාණය කිරීමට හැකිවී ඇත. එවැනි සංවර්ධන ව්‍යාපෘති තුළ දක්නට ඇති ප්‍රධානම ලක්ෂණය වන්නේ පරිසරය අමතක කොට සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමයි. එහි ප්‍රථිඵල වර්තමාන මිනිස් ජීවත සේම අලින්ගේ ජීවිතද සමස්ථ පරිසර පද්ධතියම අනතුරට පත් වීමයි.

1. නැගෙනහිර ප්‍රදේශයේ ඇති කල ගල් ඔය ව්‍යාපාරය
2. දකුණු පලාත තුළ ඇරඹූ වලවේ සහ කිරිදි ඔය ව්‍යාපාරය
3. නැගෙනහිර , ඊසානදිග හා වයඹ යන ප්‍රදේශවල ක්‍රියාත්මක වූ මහවැලි ව්‍යාපාරය
4. වර්තමානය තුළ ක්‍රියාත්මක 2011 -2050 දක්වා වූ ජාතික භවුතික සැලසුම්
ආදී දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තුළ පරිසරය වන සතුන් නොසලකා හරිමින් සතුන්ගේ සංචරණ අවස්ථා පිළිබඳ නොතකා ව්‍යාපෘතියේ මුදල් වියදම් කිරීමට සැලසුම් කලත් සමස්ථ සතුන්ගේ පැවැත්ම පිළිබඳව නොතකා කටයුතු කිරීමේ ප්‍රථිඵලය ලෙස රටක් තුළ ආරක්ෂා විය යුතු වනාන්තර ප්‍රතිශතය සීග්‍රයෙන් පහල බැස ඇත.
වන සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් ඇති වූ තත්ත්වයන් අලි මිනිස් ගැටීමට අත වැනීමකි.

1. සංවර්ධන ව්‍යාපෘති සදහා වනාන්තර බිම් එළිපෙහෙළි කිරීම.
2. අනවසරයෙන් වනාන්තර ඉඩම් අත්පත් කරගෙන පදිංචි වීම.
3. වනාන්තර ගිණි තැබීම
4. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ගැටුම් අවම කර ගැනීමට ක්‍රියාත්මක නොවීම.
5. සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් වනාන්තර දෙකඩ වීම.

මේ කරුණු හේතුවෙන් වර්තමානය වන විට සංවර්ධන අනාථයින් බවට අලින් පත්ව ඇත.ඒ නිසා ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටලු කිහිපයකි.

1. තම පාරම්පරික වාසභූමි , ආහාර ,ජලය සහ ප්‍රජනන අවශ්‍ය බිම් නොමැති වීම.
2. තම ගහනයෙන් වෙන් වී ඈත්ව යෑම.
3. කැළෑ අතර සංක්‍රමණය වීමට පිවිසුම් මාර්ග නොමැති වීම.
4. දළ වැනි ශරීර කොටස් ගැනීමට මරා දැමීම.
5. මුදලට සිදුකරන අලි සොරකම.

මේ ගැටුමට ප්‍රධාන හේතුව ලෙස අවිවාදයෙන් පිළිගැනෙන්නේ අලින්ගේ පැවැත්ම සදහා අවශ්‍ය වාසස්ථාන වන වනාන්තර වේගයෙන් එළි කිරීමයි.එසේම පිහිටුවනු ලැබූ රක්ෂිත අලින්ගේ ආහාර , ජල සහ වාසස්ථාන අවශ්‍යතා සපුරාලීමට තරම් ප්‍රමාණවත් නොවීමයි.තවත් වැදගත් කරුණක් වන්නේ පිහිටවනු ලැබූ වනොද්‍යාන හා රක්ෂිත අතර ගමන් කල හැකි පිවිසුම් මාර්ග නොමැති වීමයි. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මේ රක්ෂිත වන කොටස එකිනෙකට සම්බන්ධතාවයක් නොමැතිව ඉතිරි කිරීමේදී අලි යනු සංක්‍රමණික සත්ව කොටසක් බව ඒ සැලසුම්කරුවන් විසින් අමතක කර ඇති බවයි. ඇතැම් ගොවි ජනපද සැලසුම් කිරීමේදී ( මහවැලි H කලාපය ) අලින්ගේ සංක්‍රමණ මාර්ග අතරට ගම්මාන හා ගොවිබිම් ඇතිකිරීම මගින් මේ ගැටුම වඩාත් උග්‍ර කර ඇත. මේ සියල්ලටම හේතුව වන්නේ සංවර්ධන සැලසුම් වල ඇති දුර්වලතාවයි. විශේෂයෙන්ම නිසි සැලසුම්කාරී ඉඩම් ප්‍රතිපත්තියක් හෝ ඉඩම් භාවිතාවක් නොමැති බවයි.

පූජ්ය වෑකදවල රාහුල හිමි
පරිසර හා සොබාදහමි අධ්යයන මධ්යස්ථානය

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>