අලි වදකරන අමුතු ඇටය

මම මේ කියන්න යන්නේ උඹටයි මටයි තේරෙන උඹයි මමයි කියන දේ භාෂාමය වශයෙන් නොතේරෙන තාඩන පීඩන වලට ලක් වෙද්දී විටෙක ප්‍රචණ්ඩ වන විටෙක සියල්ල දරා සිටින පිරිසක් ගැන.ඒ තමයි සොබාවිතය සුන්දර කරන සද්දන්තයන් වන අලි ඇතුන් ගැන.
මිනිසුන් අයිතිවාසිකම් ගැන කවුරු කවුරුත් කතා කලාට කතා කල නොහැකි ඒ අහිංසක සතුන් වෙනුවෙන් හඩ නගන්නෙ කවුද? ඕනෑම සතෙකුට වුවද අපිට සමානව ජීවත් වීමට අයිතියක් තියෙනවා.ඒ අයිතිය නැති කරන්න සීමා කරන්න කිසිවෙකුටත් බෑ..
ලංකාවේ ඔය කියන උත්තරීතර ව්‍යවස්ථා වල පවා රටක් ලෙස සියලු සත්වයින්ගේ ආරක්ෂාව හා සංරක්ෂණය වෙනුවෙන් කැප විය යුතු බව සදහන් කරල තියෙනවා.එසේ අයිතියක් විදියට හදුන්වා තිබියදීත් මේ වන විට ලංකාව තුළ අලින් පමණක් නොවෙයි බොහෝ සතුන් හිංසාවට ලක්වනවා.නමුත් හුදෙක් මා අලි ගැන කතා කරන්නේ ඉකුත් 11 වෙනිදා මේ සොබාවිතයෙන් සමුගත්ත කණ්ඩුල නිසා..මොකද කණ්ඩුලට අත් වූ ඉරණම තවත් අහිංසකයෙක්ට සිදු විය හැකිය..
කණ්ඩුල ගේන්නෙ හබරණ ඉදන්,අසනීප තත්ත්වයෙන් පසු වුණ නිසා ප්‍රතිකාර සදහා පින්නවලට ගෙන යාමේදී අපරික්ෂාරී රිය ධාවනය නිසා කණ්ඩුල මිය ගියා …ඒ කොහොම වුනත් දන්න උඹල දන්නව හබරණ පැත්තෙ අලි තියන් ඉන්නෙ ඇයි කියලා..ජීවත් ව ඉන්න කාලෙදී අලියගෙන් බඩ පුරෝගනිපු උන් අවසානයේ ඒ අහිංසකයට හරියට ප්‍රතිකාර කරේවත් නෑ….හබරණ ඉදන් පින්නවලට කණ්ඩුල ව ප්‍රවාහනය කරද්දී නිසි ක්‍රමවේදයක් තිබුණා නම් ලංකාව සිටි එක හීලෑ ඇතෙක් තවම ජීවත් වෙනව…එතකොට. හීලෑ අලි ඇතුන් මදි කියල කෑගහන නිලමෙලාගෙනුයි හාමුදුරුවෝන්ගෙනුයි මම මේ අහන්නෙ ” මහත්තයො ,අනේ අපෙ හාමුදුරුවනේ මේ අකාලයේ මිය ගියේ හීලෑ අලියෙක් නෙවෙයි ද? ඌ වෙන මොකෙක් හරි එකෙක් ද?”ඇයි උන් ගැන හෙව්වේ බැලුවේ නැත්තේ ..
2009 අංක 22 දරන පනතින් අවසන් සංශෝධිත 1937 අංක 02 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ 22 (අ) වගන්තියට අනුව හීලෑ අලි ඇතුන් සදහා බලපත්‍ර ලබාදීමේ දී එහි සදහන් වන්නේ, පෙරහැර ඇතුළු සංස්කෘතික කටයුතු සදහා පමණක් අලි ඇතුන් භාවිතා කල හැකි බවයි.නමුත් මේ අවිධිමත් සංචාරක කටයුතු සදහා යොදා ගන්නෙ බලපත්‍ර රහිත අලි ද ?
පෙරහැර සදහා හීලෑ අලි ඇතුන් හිගයක් මතු වී ඇති බව පෙන්වමින් දිය වඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාත් භික්ෂූන් වහන්සේලා ත් අලි පැටවු ජාවාරම සාධාරණීකරණය කරමින් පවතිනවා..පෙරහැර ට අලි හිග වීමට සැබෑ හේතුව සගවා ව්‍යාජ හිගයක් මවාපෑමට මොවුන් උත්සාහ දරයි .ඔය කියන බොහොමයක් අලි පෙරහැර වලට වඩා සංචාරක කර්මාන්තය සදහායි යොදා ගනු ලබන්නේ ඒ තුලින් අලි හිමිකරු විශාල ආදායමක් උපයමින් තිබෙනවා.
අවිධිමත් සංචාරක කර්මාන්තය නිසා වන සතුන් සංචාරක කටයුතු වල යෙදී ම පිළිබඳ නීති අණ පනත් හා සීමා අවිධිමත් හා අවිනිශ්චිත වීම හේතු කරගෙන ලංකාවේ විවීධ සංචාරක තුළින් හීලෑ අලි ඇතුන් පිට සංචාරකයන් රැගෙන යාම සිදුකරයි.
හබරණ ,සීගිරිය ,දඹුල්ල ,කණ්ඩලම හා පින්නවල යන ප්‍රදේශ වලත් නුවර,තිස්සමහරාමය යන ප්‍රදේශ වලත් හීලෑ අලි ඇතුන් බොහොමයක් සංචාරක කටයුතු සදහා යොදාගෙන තිබේ.දෛනික ව බොහෝ දුරක් ගමන් කිරීමත් ,සංචාරකයන් රැගෙන යාම සදහා අලියාගේ පිටෙහි රදවන උපකරණයත් නිසා දීර්ඝකාලීව සිදුවන ශාරීරික හානියත් නිසා අලි ඇතුන් මරණය වැළඳ ගන්නේ අකාලයේමයි…උන්ට කන්න හරියට ආහාර නෑ,මූලික අවශ්‍යතා සපුරා ගන්න විදියක් නෑ.ඒ විතරක් නෙවෙයි ඒ අහිංසකයන්ගෙ ප්‍රජනන හැකියාව පවා අහිමි කරල වන්ද්‍යකරණ්‍නයට ලක් කරල තියෙන්නේ
ඒ ඔක්කොමත් එක්ක අවසානයේ උන් මැරිල ගියාම කියනව අරකට අලි මදි මේකට අලි මදි කියල …එතකොට මේ සත්ව හිංසනය කාටවත් පේන්නෙ නැද්ද ඇයි උන්ගෙ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නෙ අරක දියව් මේක දියව් උන් ඉල්ලන්නේ නැති හින්දද
මේ සොබාවිතය ජනිත කරපු අපූර්වතම බිළින්දෙක් තමයි මේ අපේ භූමිය .මෙහි සුන්දර දේ බොහොමයි.ඒ හේතුවෙන් සංචාරකයන් සංචාරය සදහා ලංකාවට පැමිණෙන්නේ ..සංචාරක කර්මාන්තයට අලියා දායක කරගත යුත්තේ උන්ගේ ස්වාභාවික හැසිරීම් සංචාරකයන්ගේ දෑස මානයට කැන්දමිනි..නැතිව වද දි දී නිසි නඩත්තුවක් නැතිව සෆාරි සදහා යොදා ගැනීමෙන් නොවේ.අලි ඇතුන් සෆාරි සදහා යොදා නොගත යුතුය..
කණ්ඩුල ද සෆාරි සදහා යොදා ගත් අලියෙක් හැබැයි නීත්‍යානුකූල නොවන අලියෙක්..අවසානයේ කණ්ඩුගේ හිමිකරුවන් යැයි පවසන්නුන් කණ්ඩුල ව ඉවත් කරන්නේ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත පවා උල්ලංඝනය කරමින්..
හුදෙක් ම සෆාරි නිසා පමණක් නොව පෙරහැර නිසාත් අලි හිංසනයට ලක්වේ ..
දළදා දළදා පෙරහැර ආරම්භ කලේ කිත්සිරි මෙවන් රජතුමාගේ කාලයේදී නමුත් පෙරහැරට අලි ඇතුන් සම්බන්ධ වුණේ කොතනදැයි හරියටම සදහන් වීමක් නෑ..එ කොහොම වුනත් ලැම්බොගිනි,benz,චොපර් නොතිබුණු ඒ කාලෙ රජතුමා ගමන් ගිය හස්තියා කරඩුව ගෙන යාමට යොදා ගන්නට ඇත.රජවරුන් ලග රාජකීය සැප ලැබූ හස්තීන් මේ ක්‍රියාවේ නිරත වූවා විය හැකියි..නමුත් අද ගිහි අය ලග පන්සල් වල සිටින අලි ඇතුන්ට නිසියාකාර පෝෂණයක් වත් ලැබෙනවාද? ඔවුන්ට කිලෝමීටර් ගණනක් පෙරහැරේ යාමට තරම් ශක්තියක් ලබාගන්න ඒ පෝෂණය ප්‍රමාණවත් ද? දිනකට 150kg ක් ජලය 150 l ක් වැඩුනු අලියෙකුට අවශ්‍යයි.මේ සියල්ල උන්ට ලැබෙනවාද?
තවද පෙරහැරක අලි 100ක් 200ක් සිටිය යුතුමද?ඉන් ලැබෙන ප්‍රයෝජනය කුමක්ද ?අපේ සංස්කෘතිය ලොවට පෙන්වීමට ද සත්ව හිංසනයට විරුද්ධ වන පංචශීලයේ පිහිටන බුදුදහමේ නාමයෙන් අද මේ අහිංසකයින් දුක්ඛිත ජීවිතයක් ගත කරයි.
බුද්ධකාලීනව නාලාගිරි ඇතා පාරිලෛය වනයෝ ඇතාගැන සදහන් වේ.නමුත් බුදුදහමේ කොතනකවත් සදහන් කරල නෑ අපේ බුදු හාමුදුරුවෝ අලි ඇතුන් බැදගෙන වැඩගත්ත කියල.පාරිලෛය වනයේ ඇතා බුදුන්වහන්සේ ට උවටැන් කලේ සිය කැමැත්තෙන් …සියලු සතුන් කෙරේ මෙත් සිත දැක්වූ බුදුන්වහන්සේ වර්තමානයේ අලිඇතුන් විදින දුක් ගැහැට දනී නම් බොහෝ කම්පා වේ.
විසිතුරු ඇදුම් අන්දවල විදුලි බුබුලු වලින් අලංකාර කරල තියෙන අලියා හෝ ඇතාගෙ විසිතුරු ඇදුමට යටින් විලංගු දාල තියෙන කකුල් වලින් හරිම පීඩාවෙන් දෙපැත්තට වැනෙමින් ඇස්වල කදුලු පුරවගෙන යන දැවැන්තයා දිහා බලන්න.අනේ ඒ අහිංසකය කෑගහන්නද දගලන්නද එහෙම සටන් කලොත් බීගෙන ඉන්න ඇත්ගොව්ව හෙන්ඩුවෙන් අනින්නෙ හිතක් පපුවක් නැතිව…දෙයියනේ මං අහනව් මේ සත්ව හිංසනය නෙමෙයිද ? කෙහෙල් මල් සංස්කෘතියේ නාමයෙන් මේ අහිංසකයන්ට දෙන වදේ හරිද සාධාරණයි ද?
19 වන සියවසේ මුල් කාලයේ ලංකාවෙ අලි 20000 ක් විතර මධ්‍යම කදුකරය කේන්ද්‍ර කොටගෙන ඉදල තියෙනවා .එදා සුද්දො මධ්‍යම කදුකරේ තේ,කෝපි එහෙම වගා කලා ඒ වගාවන්ට අලි මහත් හිරිහැ‍රයක් වුන නිසා උන් පලිබෝධකක් කරගෙන අලි මරල දැම්ම..අද වෙද්දි ලංකාවේ වැසි වනාන්තර අලි නැ…..සොබාවිතය ට අපූර්වත්වයක් කැන්දාගෙන ආ දැවැන්තයා මේ වෙද්දී විනාශ කරගෙන යනව අර සුද්ද කරපු වැඩේ දැන් ඉන්න කලු සුද්දො කරන්න යනවා සද්දන්තයන්
රට යවන්න හදනවා.වන වැස්මට සාපේක්ෂව අලි ගාන තීරණය කල යුතුයිලු…ඇයි මේ ඔල මොට්ටල රැලට තේරෙන්නේ නැත්තේ මේ වනාන්තර විනාශ නොකර හිටියම හරි කියලා .රජයමනෙ වන වැස්ම අඩු කරන්නේ ..මේ වෙනකොටත විල්පත්තුව රක්ෂිතය කපනවා මේව රක්ෂිත ඒව කපනවන්ම් පොඩි පොඩි වනාන්තර වලට sorry .com අද උන් කටු පදුරු ලදු කැලෑ කපා කොන්ක්‍රිට් වනාන්තර වවනව සද්දන්තයින්ගෙ වාසභූමි ආක්‍රමණය කරනව .කැලෑ කැපුවම ඒ අහිංසකයො කොහෙද ඉන්නෙ .කෝ උන්ට වාසභූමි ඇයි උන්ට ජීවත් වෙන්න නිදහසක් අයිතියක් නැද්ද ? අපි වගේම ඒ අහිංසක සත්තුත් මේ බිමේ අයිතිකාරයො.
දවසකට 25km විතර ඇවිදල 150kg ව්තර ආහාරයට ගන්න හිරු රශ්මිය දැඩිව තියෙද්දි ජලාශයක බැහැල නාල වතුර 150 l විතර බීල යන උන්ගෙ නිදහස සීමා කරල විදුලි වැට වලින්..උන්ට කෑගහන්න බෑ අපිට අපේ පාඩුවෙ ඉන්ට තියන තැන තියාපල්ල ඒව විනාශ කරන්න එපා කියල.අවසානයේ උන් හැම බාධකයක් ම බිදගෙන ගම් වදිනව..ඊට පස්සෙ අලි මිනිස් ගැටුම මිනිසුන් අලි මරනව අලි මිනිසුන් ව මරනව ඇත්තටම මරන්න ඕන අලින්ගේ වාසභූමි විනාශ කරල උන්ට හිටින්න තැනක් නැති කරපු උන්ව..
උදාහරණයක් විදියට ඉස්සර හම්බන්තොට කොහොමද තිබුණේ දැන් කොහොමද අලින්ගේ වාසභූමි වල මහ පාරවල් හදලා ඒවයෙ යන්නෙත් අලි..මහා කැල කපල ගුවන්තොටුපලවල් ක්‍රීඩාංගන හදලා දැන් අලින්ට වාසභූමි නෑ උන්ව සීමිත ප්‍රමාණයකට කොටුකරල උන් ඒව කඩා බිදගෙන එනව ක්‍රීඩාංගන වලටයි ගුවන්තොටුපලවල් වලටයි ඔක්කොටම..
ලංකාවේ වනාන්තර ගහනයට සාපේක්ෂව අලිගහනය තීරණය කල යුතුයි කියන මැති ඇමතිතුමනි පොඩ්ඩක් හිතන්න කල යුත්තේ කුමක්ද කියලා
බලන් කඩතුරා හැර දෑසේ යථාර්ථය වියකිලා මියදිලා සේදිලා විසිතුරු ඇදුමෙන් සැරසිලා පෙරහැරේ ගියත් සෆාරි ගිය ත් කැලේ උන්නත් පීඩාවට පත් වෙන්නෙ අලින්මයි . ඒ සද්දන්තයින්ගෙ ඇස් වලින් වැටෙන කදුලු වලට වග කියන්නෙ කවුද???

සෙව්වන්දි හෙට්ටිආරච්චිali

Leave a reply

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>